කාන්තා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ ජය පකිස්ථානයට

කාන්තා අවසන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය පකිස්ථානයට

by Hashini De Mel 25-03-2018 | 9:50 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජයගැනීමට පකිස්ථාන කාන්තා කණ්ඩායම සමත්වී තිබේ.

තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 108 කින් ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රීඩිකාවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 215 කි. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වෙමින් නහීඩා ඛාන් ලකුණු 46 ක් රැස් කළේ ය. ජවේරියා ඛාන් ලකුණු 30 කි. ශෂිකලා සිරිවර්ධන සහ අමා කාන්චනා කඩුලු 2 බැගින් දවා ගත්තා ය. ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 41 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 107 ක් පමණි. නිපුනි හංසිකා ලකුණු 35 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 7දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ශ්‍රී ලංකා සහ පකිස්ථාක කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන බදාදා ආරම්භවීමට නියමිත වේ.