කොළඹ දේශපාලනඥයින් බලෙන් ගෞරව ලබා ගැනීමේ උත්සහයක

කොළඹ දේශපාලනඥයින් බලෙන් ගෞරව ලබා ගැනීමේ උත්සහයක

by Staff writer 24-03-2018 | 7:37 PM
COLOMBO (Newsfirst) - කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය කොළඹ කලාපයේ පළාත් සභා පාසල්වලට යැවූ අපූරු ලිපියක් පිළිබඳවයි මේ තොරතුරු... කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව පසුගිය පෙබරවාරි 20 වන දා කොළඹ කලාපයේ පළාත් සභා සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ, විද්‍යාලයේ පැවැත්වෙන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා ප්‍රදේශය නියෝජනය කරන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර ලබා දිය යුතු බව ය. එමෙන් ම ඔවුන් උත්සවයට පැමිණි පසු නිසි ගෞරව දැක්වීම රාජ්‍ය නිලධාරියෙකු ලෙස විදුහල්පතිවරුන් විසින් අනිවාර්යයෙන් කළ යුතු බව ද මෙම ලිපියේ සඳහන් ය. මෙම ලිපිය සමග කොළඹ කලාපයේ පළාත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද අමුණා තිබේ. එහි දැක්වෙන නම් වන්නේ නවුසර් ෆවුසි, ජයන්ත ද සිල්වා, මොහොමඩ් ෆයිරූස්, අනුරාධ විමලරත්න, අර්ෂාඩ් නිසාම්දීන්, මොහොමඩ් ෆායිස්, එස්. කුහරවර්ධන්, කේ.ටී. කුරුසාමී, මොහොමඩ් අක්‍රම්, සුසිල් කිඳෙල්පිටිය, සුනිල් වටගල, හෙක්ටර් බෙත්මගේ. කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙම මන්ත්‍රීවරුන් නම් කර ඇත්තේ, කොළඹ කලාපයේ සංවර්ධන ව්‍යුහ කමිටු රැස්වීමේ නියෝජිතයින් යන පදනම මත පිහිටා ය. දේශපාලනඥයින්ට ගෞරවයක් තිබේ නම් ඔවුන්ට ආරාධනා කිරීමට කිසිවෙක් පැකිලෙන්නේ නැත. නමුත් මේ ආකාරයට ගෞරවයක් බලහත්කාරයෙන් ලබා ගන්නට උත්සහ දැරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් නොවේ ද.?