ඉරානයේ දත්ත සොරකම් කළ අයට ඇමෙරිකාවෙන් සම්බාධක

ඉරානයේ දත්ත සොරකම් කළ අයට ඇමෙරිකාවෙන් සම්බාධක

by Hashini De Mel 24-03-2018 | 7:28 AM

COLOMBO (News 1st) - ඉරානයේ පරිගණක දත්ත සොරුන්ට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවා තිබේ.

විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, විශ්වවිද්‍යාල සිය ගණනකට සයිබර් ප්‍රහාර එල්ල කළ ඉරාන සමාගමක් සහ පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව එළෙස සම්බාධක පනවා ඇති බවයි. ටෙරා බයිට් 31ක බුද්ධිමය දේපොළ සහ දත්ත සොරකම් කළ බවට අදාළ සමාගමට චෝදනා එල්ල විය. ලොව පුරා විශ්වවිද්‍යාල 320කට සහ ඇමෙරිකානු රජයට අනුබද්ධ සමාගම් රැසක දත්ත ඔවුන් සොරකම් කර ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එමෙන් ම සම්බාධක පැන වූ පුද්ගලයින් 10 දෙනාගෙන් 9 දෙනෙකුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරා ඇති බව ද සඳහන් වේ. සම්බාධක පැන වූ ඉරාන සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාට අයත් වත්කම් රජයට පවරා ගන්නා බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.