පළාත් පාලන ආයතන 59ක තනතුරු නාම ලේඛන ලබා දී නැහැ

පළාත් පාලන ආයතන 59ක තනතුරු නාම ලේඛන ලබා දී නැහැ - මැතිවරණ කොමිෂන් සභාව කියයි

by Staff writer 23-03-2018 | 7:31 AM
COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතන සඳහා සභාපති, උප සභාපති ඇතුළු තනතුරු පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ එම තනතුරු සඳහා තෝරා ගත් සභික නාම ලේඛන මෙතෙක් යොමු නොකිරීම ඊට හේතු වී ඇති බව ය. මේ අනුව පළාත් පාලන ආයතන 59ක තනතුරු සඳහා පත් කරන සභික නාම ලේඛන මෙතෙක් ලබා දී නොමැත. ඉන් ආයතන 57ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, හපුතලේ සහ පොළොන්නරුව පළාත් පාලන ආයතනවලට පත් කරන සභාපති ඇතුළු තනතුරු ලේඛනය මෙතෙක් ලබා දී නොමැත. නාම ලේඛන කඩිනමින් ලබා දෙන්නැයි දන්වා අදාළ පක්ෂවලට යළි සිහිකැදවීම් ලිපි යොමු කරන බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. මේ වන විට පළාත් පාලන ආයතන 15ක තනතුරු ඇතුළත් ගැසට් නිවේදන නිකුත් කර අවසන් ය. තවත් ආයතන 98ක් සඳහා නාම ලේඛන ඉදිරිපත්ව ඇති අතර ඒවා කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බව ද කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. මේ අතර පළාත් පාලන ආයතන 170ක් සඳහා තනතුරු තෝරා ගැනෙන්නේ පළමු සභා රැස්වීමේදී ය. පළාත් කොමසාරිස්වරුන් එම නාම ලේඛන ලබා දීමෙන් අනතුරුව ගැසට් කරනු ඇති.