ගාල්ල සහ මීගමුව නගරාධිපති ධූර එජාපයට අහිමි වෙයි

එජාපය දිනා සිටි ගාල්ල සහ මීගමුව මහ නගර සභාවල නගරාධිපති ධූර ශ්‍රීලනිප දිනා ගනී

by Chathuranga Rajapaksha 23-03-2018 | 10:21 PM
COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන දිනා සිටි ගාල්ල මහ නගර සභාව හා මීගමුව මහ නගර සභාවේ නගරාධිපති ධුර අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දිනා ගත්තේය. ගාල්ල මහ නගර සභාවේ අද පැවති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද 9 කින් නගරාධිපති ධුරයට පත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතායි. ඔහුට ඡන්ද 20 ක් හිමිවිය. නියෝජිත ආසන 35 කින් සමන්විත ගාල්ල නගර සභාවේ ආසන 14ක් එක්සත් ජාතික පක්ෂය දිනා තිබුණ ද එම පක්ෂයේ නගරාධිපති අපේක්ෂක ජිලිප් නිශාන්ත මහතාට අද ලැබුනේ ඡන්ද 11 ක් පමණි. ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ශව්සුල් නියාස් මහතා නිතරගයෙන් පත්විය. මේ අතර මීගමුව නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ දයා ලන්සා මහතා තේරී පත්විය. මෙම නගර සභාව වෙනුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත්ජාතික පක්ෂය ආසන 19 ක් දිනා ගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබුනේ ආසන 16 ක් පමණි. නමුත් අද පැවති ඡන්දයෙන් ඡන්ද 25 ක් දිනාගත් දයා ලන්සා මහතා නගරාධිපති ලෙස පත්විය. නියෝජ්‍ය නගරාධිපති ලෙස බහුතර ඡන්දයෙන් පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මොහොමඩ් ෆාරිස් මහතායි. https://www.facebook.com/NewsfirstSL/videos/1886241568102759/