අල්ලස් ගත් හිටපු විදුහල්පතිනියට වසර 5ක සිර දඬුවමක්

අල්ලස් ගත් හිටපු විදුහල්පතිනියට වසර 5ක සිර දඬුවමක්

by Chathuranga Rajapaksha 23-03-2018 | 3:29 PM
COLOMBO (Newsfirst) - පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනිම සඳහා රුපියල් 150,000 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4 කට වරදකරු කරනු ලැබු මාතලේ ප්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිනියකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් 60,000ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කළ අතර අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි කියන රුපියල් 150,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට ද නියෝග කළේය. 2014 පෙබරවාරි 08 වැනිදා සිසුවාගේ පියාගෙන් අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන විමර්ශන කොමිසම් සභාව ඇය අත්අඩංගුවට ගෙන තිබුණි. රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් 150,000 ක මුදලක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4 ක් යටතේ විත්තිකාරියට එරෙහිව පවරා තිබු නඩුවක් විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරිය එම චෝදනා 4 ටම වරදකාරිය බවට නිගමනය කළේය.