ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?

ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?

ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?

කර්තෘ Kumudu Jayawardana

23 Mar, 2018 | 12:41 pm

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන්නේ, අදක ඊයේක සිට නොවේ.

ක්‍රිකට් පසෙක තබමු. සමස්තයක් ලෙස ක්‍රීඩාව මිනිසුන්ට අවශ්‍ය වන්නේ, ජය පරාජය හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය මානසික ශක්තිය සපයන හෙයිනි.

ක්‍රීඩාවන්හි බොහෝ විට දක්ෂයා එසේ ත් නොමැති නම් වඩා ත් කැපවීම් කළ පුද්ගලයා හෝ කණ්ඩායම ජයග්‍රහණය ලබයි. ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී නම් ඇතැම් විට වාසනාව යන කරුණ ද ඊට බලපායි.

මේ කෙසේ වෙතත්, ක්‍රීඩා කරන්නන් තුළ විනයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණකි.

ආපසු ක්‍රිකට් ක්‍රීඩාව දෙසට හැරුණහොත්, මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුව ද කලින් කලට එහි කුකුල් කේන්තිකාරයින් අපට හමුවී තිබේ.

පකිස්ථානයේ ජවේඩ් මියන්ඩාඩ්, ඔස්ට්‍රේලියාවේ මිෂෙල් ස්ටාර්ක්, බටහිර ඉන්දීය කොදෙව්හි කයිරන් පොලාර්ඩ් ආදී ක්‍රීඩකයින් උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.

IPL තරගයක් අතරතුර තමන් සූදානම් වීමට පෙර සිය සිරුර දෙසට අපරික්ෂාකාරී ලෙස පන්දුවක් යොමු කළ මිෂෙල් ස්ටාර්ක්ට කයිරන් පොලාර්ඩ් සිය පිත්තෙන් දමා ගැසීම මෑත ඉතිහාසයේ සිදුවූ කනගාටුදායක සිද්ධියක් විය.

මේ අතර, තරගයක් අවසානයේ පරාජය වීමෙන් පසු කඳුළු සැලූ ප්‍රතිවාදී කණ්ඩායමේ සාමාජිකයින් සැනසූ නවසීලන්ත ක්‍රීඩකයින් පිිබඳව ද අප දැක තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ එම මහත්මා ගුණය කෙළෙසන ආකාරයේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතී.

ඊට හොඳ ම උදාහරණය නම් පසුගිය දා මෙරටදී පැවැත්වුණු නිදහස් කුසලාන තුන් කොන් ක්‍රිකට් තරගාවලිය යි.

එහිදී, බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය ත්, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ ප්‍රතිචරය ත් අතිශය කනගාටුදායක ය.

වරද කාගේ වුව ද, එම වරදට සහභාගි වූ දෙපාර්ශවය ම මත්වරුන්ගේ ක්‍රීඩාවේ ලක්ෂණ විද්‍යාමාන නොකළේ ය.

අවසන් තරගයේදී සුනිල් ගවස්කාර් නයි සලකුණ ප්‍රදර්ශනය කරමින් හාස්‍ය පිණිස හෝ කළ රංගනය ද නොකළ යුතුව තිබිණි.

මෙම තත්ත්වය උග්‍ර අතට පත්වුවහොත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට අහිතකර ලෙස බලපානු ඇත.

මේ අතර, ක්‍රීඩා ලෝලීන් ද මීට වඩා වගකීම්සහගත ලෙස ක්‍රියා කළ යුතු ය.

– කුමුදු ජයවර්ධන