සපත්තුවෙනුත් ගසාකෑමට ගිය අධිවේගී මගඩියේ හෙළිදරව්ව

සපත්තුවෙනුත් ගසා කෑමට සැරසුණු අධිවේගී මගඩියේ අලුත් ම හෙළිදරව්ව

by Sagarika Chathumali 22-03-2018 | 2:36 PM

COLOMBO (News 1st) : මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුවූ සපත්තු මගඩියක් පිළිබඳව එහි සේවකයින් පිරිසක් චෝදනා කරති.

අධිවේගී මාර්ග සේවක වෘත්තිය සමිති චෝදනා කරන්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් සඳහා මෙවර ලබා දුන් සපත්තු පැළඳ දින දෙක තුනක් ඇතුළතදී ඒවා කැඩී ගොස් ඇති බවත් ඇතැම් සපත්තු පළුඳු වී ඇති බවත් ය. නිසි ප්‍රමිතියකින් තොර බාල වර්ගයේ සපත්තු ලබා දී ඇති බවට ඔවුහු මැසිවිලි නගති. මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සහ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිලි කිරීමෙන් පසු යළි අදාළ සපත්තු එක්රැස් කර ගැනීමට පලනාධිකාරිය ක්‍රියාකර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධිවේගි මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පැවසුවේ, සැපයුම්කරු විසින් සපත්තු සඳහා වඩාත් හොඳ නිමාවක් ලබාදීමට යොදා ඇති අමතර ආලේපනයක් හේතුවෙන් මෙවැනි ත්ත්තවයක් උද්ගතව ඇති බවයි. සේවකයින් පවසන්නේ, ලොරි රථ යොදා ගනිමින් අමතර වියදමක් දරා යළි මෙම සපත්තු එකතු කළ බවයි. එහෙත් අධ්‍යක්ෂවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, සැපයුම්කරුගේ සම්පූර්ණ වියදමින් සපත්තු එකතු කර ඇති බව ත් මාර්ග සංවර්ධන අධිකාරිය ඒ සඳහා කිසිදු වියදමක් නොදැරූ බව ත් ය. මේ අතර සේවකයින් පවසන්නේ, සැයපුම්කරුට යළි යොමු කරන බව පවසමින් එක්රැස් කර ගත් සපත්තු තමවත් කාර්යාල තුළ ගොඩා ගසා ඇති බවයි. තව ද තොග නිකුත් කිරීමට පෙර අදාළ සැපයුම්කරු ලබා දුන් සාම්පල නිසි ප්‍රමිතියකින් තිබූ බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. අධිවේගී මාර්ග සේවකයින් සඳහා මෙම සපත්තු තොග මිලදී ගැනීමට ප්‍රථම තාක්ෂණික කමිටුව විසින් සාම්පල පරීක්ෂාවකින් අනතුරුව අදාළ සැයපුම වෙනුවෙන් අනුමැතිය දීම සාමන්‍ය ක්‍රමවේදයයි.

මෙම මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් නැගෙන ප්‍රශ්න කිහිපයකි... 

සාම්පල නියමිත ප්‍රමිතියකින් තිබුණේ නම් සේවකයින්ට ලබා දීමට ගෙනා තොග නිසි පරීක්ෂාවකට ලක් නොකළේ මන් ද? වඩාත් හොඳ නිමාවක් ලබා දීමට සැපයුම්කරු ආලේපනයෙන් එක් කළේ නම්, ඉන් සිදුවිය යුතුතේ වෙනදාටත් වඩා වැඩි කාලයක් අබලන්වීමකින් තොරව සපත්තු පැළඳීමට හැකිවීමයි. එය එසේ නොවී අදාළ සපත්තු දින කිහිපයක් ඇතුළත අබලන් වූයේ කෙසේ ද? තාක්ෂණික කමිටුවේදී ප්‍රමිතියක් ඇතැයි, තෝරා ගත් සැපයුම්කරුගේ සපත්තු, තොග ලැබෙද්දී සැපයුම්කරුගේ ප්‍රමිතියට සිදුවූයේ කුමක් ද? සැපයුම්කරු නඩත්තුවෙන් පසු ලබා දෙන එම සපත්තුවල ද ප්‍රමිතියක් තිබේ යැයි, විශ්වාසය තැබිය හැකි ද? යම් හෙයකින් සැපයුම්කරුගේ සපත්තු යළි ලබා ගැනීම ප්‍රතික්ෂේප වුව හොත් නැවතත් ඩෙනටර් කැඳවා සැපයුම්කරුවන් තොරා ගැනීමේදි වියදම් වන්නේ මහජන මුදල් ම නොවේ ද? මේවා අත්වැරදීම් හෝ අහඹු සිදුවීම් යැයි, කියා බලධාරීන් වගකීමෙන් පැන යා හැකි ද? මෙවැනි මගඩිවලට සම්බන්ධ වූ බලධාරීන්ට එරෙහිව ගන්නා පියවර ගත යුතු නොවේ ද?