ශ්‍රී ලංකාව ගැන වාර්තාව මානව හිමිකම් කවුන්සියලට

ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ඉදිරිපත් වෙයි

by Sagarika Chathumali 22-03-2018 | 9:36 AM
COLOMBO (News 1st)  : ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද යාවත්කාලීන වාර්තාව ඊයේ ජගත් මානව හිමිකම් කවුන්සියලට ඉදිරිපත් කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම පසුගිය දා ඇති වූ සිද්ධිය පිළිබඳව ද අවධානය යොමුව තිබිණ. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කිරීමේ ක්‍රියාවලිය එම වාර්තාව මගින් පැසසුමට ලක් කර තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මෙරට ප්‍රතිචාරය දක්වමින් එහිදි අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේ, සියලු පුරවැසියන්ට සාමකාමි, ස්ථාවර හා සංහිඳියාවෙන් යුක්ත රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවයි. සංහිඳියාවෙන් පිරුණු රටක් ගොඩනැගීමට ජනතාවට දුන් ප්‍රතිඥාව වළක්වාලීමට කිසිවෙකුටත් නොහැකි බව ත් රජය, ඒ සඳහා අවංකභාවයෙන් යුතුව කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. සිය අදහස් දැක්වීමේදී පශ්චාත් යුද සමයේ මෙරට සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුකර තිබේ. ශ්‍රී ලංකාවට අමතරව බුරුන්දි, ග්වතමාලා, හොන්ඩුරාස්, කොලොම්බියා, සයිප්‍රස් සහ ඉරානය යන රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තා ද ඊයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරිණ. මෙම වාර්තා පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වේ.