පේරුහි එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

පේරුහි එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ

by Hashini De Mel 22-03-2018 | 9:57 PM

COLOMBO (News 1st) - තමාට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් වී පැය 24 ක් ඇතුළත පේරු ජනපතිවරයා ඉල්ලා අස්වී තිබේ.

පේරු ජනපති, පේඩ්‍රෝ පැබ්ලෝ කුසෙන්ස්කි අද ඉල්ලා අස්වූයේ, ඊයේ ඔහුට විරුද්ධව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයෙන් පසුව ය. 79 හැවිරිදි පේඩ්‍රෝ එම ධූරයට පත්වූයේ 2016 වසරේ ජූලි 28 ව නදා ය. උදේබ්‍රෙෂ් ලෙස හඳුන්වන බ්‍ර‍සීල ඉදිකිරීම් සමාගමකින්, අමෙරිකානු ඩොලර් මිලියන 4 ක අල්ලසක් ලබා ගෙන ඇති පේඩ්‍රෝ, පේරු ජනපති ධූරයට නුසුදුසු බව පවසමින් ‍දෝෂාභියෝගයක් ගෙන ඒමට කොංග්‍රස් මණ්ඩලය පියවර ගෙන තිබේ. පැය 24 ක් ගතවීමටත් පෙර ජනපති ජාතිය අමතා පැවසුවේ, තමා ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. දෝෂාභියෝගයේ සඳහන් කිසිදු කරුණකට තමා වරදකරු නොවූවත්, රටේ සාමය හා යහපැවැත්මට බධාව තමා නම් සතුටින් ඉල්ලා අස්වන බව ඔහු පැවසුවේ ය. තමා දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත්ව ඇති බවත්, රටේ අස්ථාවරභාවය අවසන් කිරීමට හා පවුලේ ආරක්ෂාව තහවුරු කිරීමටගත යුතු හොඳම පියවර මෙය බවත් ඔහු පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ. එසේ වුවත්, ඔහුගේ ඉල්ලා අස්වීමට බලපෑ තව ත් කරුණක් ද තිබුණි. එනම් ජනපතිගේ අධාරකරුවෙකු වන කෙන්ජි ෆූජිමෝරි, කොංග්‍ර‍ස් මණ්ඩලයේ නීති සම්පාදකයින් හමුවන වීඩියෝවක් ය. එහි දැක්වෙන්නේ, යම් යම් දීමනාවලට හිලව් ලෙස දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය ප්‍ර‍කාශ කරන්නැයි, ජනපති හිතවතා නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින ආකාරයයි. අල්ලස් ගැනීම මෙන්ම, අල්ලස් දීම ද සාක්ෂි සහිතව ඔප්පු වෙද්දී දෝෂාභියෝගයකට ද පසුව තව ත් බලයේ රැඳී සිටීම අසීරු යැයි පේරු ජනපතිවරයා තේරුම් ගෙන ඇති ආකාරයක් පෙනෙන බව විචාරකයින් පවසූහ. පේරු රාජ්‍යයේ ජනපති අතීතයේ සිටම දූෂණ අල්ලස් චෝදනාවලින් පිරී අයෙකි. පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඔලන්තෝ හුමාලා සහ ඔහුගේ බිරිඳ මේ වන විටත් සිටින්නේ සිර අඩස්සියේ ය. උදේබ්‍රෙෂ් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 13.5 ක අල්ලසක් ලබා ගත් බව ඔවුන්ට එල්ල වූ චෝදනාව වේ. එමෙන් ම හිටපු ජනපති ඇලහැන්ඩ්‍රෝ ටොලේඩෝ ද ජාත්‍යන්තර පොලීසිය විසින් 2017 වසරේදී අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කරණු ලැබිණි. ඊට හේතු ඔහු බලයේ සිටි කාලයේදී, උදේබ්‍රෙෂ් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමයි. එහෙත්, ඔහු අමෙරිකාවට පැන ගිය බව පසු ව හෙළි වුණි. පේඩ්‍රෝ ඇලහැන්ඩ්‍රෝගේ රජයේ, අගමැති හා මුදල් ඇමති වශයෙන් කටයුතු කළ කාලයේදී, උදේබ්‍රෙෂ් සමාගම සමග සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 800ක නීති විරෝධී ගනුදෙනුවකට පැටලුණු බව සඳහන් වේ. ඇලහැන්ඩ්‍රෝගෙන් පසු බලයට ආ සෑම ජනපතිවරයෙකුම අඩුවැඩි වශයෙන් මෙම ගනුදෙනුවේ කොටස්කරුවන් බව එරට වාර්තාවල දක්වා ඇත. බ්‍ර‍සීලයේ හිටපූ ජනපති, ලුලා ද සිල්වාට වසර 12 ක අත්හිටවු සිරදඬුවමක් හිමිවූයේ ද උදේබ්‍රෙෂ් සමාගමෙන් අල්ලස් ගැනීම හේතුවෙනි.