ජනපති මෛත්‍රී අද පකිස්ථානයට

පකිස්ථාන ජනරජ දින සැමරුම වෙනුවෙන් ජනපති මෛත්‍රී අද පකිස්ථානයට

by Sagarika Chathumali 22-03-2018 | 6:15 AM
COLOMBO (News 1st)  : පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසෙන් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයකට අනුවයි. සිය දෙදින නිල සංචාරය තුළ දී ජනාධිපතිවරයා පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ඇති. ශ‍්‍රී ලංකා – පකිස්ථාන මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වන අතර මෑත කාලයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් ලද පළමු අවස්ථාව මෙය වේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ඇති. එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට ද අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 1956 මාර්තු 23 වන දින පකිස්ථානය ජන රජයක් බවට පත්වූ අතර එදා සිට සෑම වසරකම මාර්තු මස 23 වන දිනය ජන රජ දිනය ලෙස උත්කර්ෂවත් අන්දමින් සමරයි.