ගාමිණී ෆොන්සේකාගේ 82 වන ඡන්ම දිනය අද යි

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 82 වන ඡන්ම දිනය අද යි

by Hashini De Mel 21-03-2018 | 10:21 PM

COLOMBO (News 1st) - හෙළ සිනමාවේ විශිෂ්ටතම රංගධරයා ලෙස සැළකෙන සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ 82 වැනි ඡන්ම දිනය අද ට යෙදී තිබේ.

1936 මාර්තු 21 වන දා උපන් සෙම්බුගේ ගාමිණි ෂෙල්ටන් ෆොන්සේකා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය හැදැරුවේ ය. ගාමිණිගේ සිනමාව තරණය සිදුවන්නේ ලෝක පූජිත සිනමා අධ්‍යක්ෂ ඩේවීඩ් ලීන්ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය සහ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂය ලෙස සැළකෙන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමෙනි. ඉන් පසු රගපෑමට පිවිසෙන ගාමිණී ෆොන්සේකා ලාංකීය සිනමා වංශ කතාවේ අති විශිෂ්ට රංගන චාරිකාවක නිරත විය. ගම්පෙරළිය, නිධානය, යුගාන්තය, පරසතුමල්, සංදේශය, රන්මතුදූව, සරුංගලය, ගැටවරයෝ සහ වැලිකතර ඉන් බිඳක් පමණි. චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසෙන ගාමිණි ෆොන්සේකා පරසතු මල්, උතුමාණෙනි, සාගරයක් මැද, කොටි වලිගය, නොමියෙන මිනිසුන් වැනි අමරණීය සිනමා කෘති රැසක් ද සිංහල සිනමාට දායාද කළේ ය. කලාකරුවෙකු ලෙස ජන හද දිනු ගාමිණි ෆොන්සේකා මහතා 1989 වසරේදී දේශපාලනයට පිවිසුණේ එක්සත් ජාතික පක්ෂයෙනි. එම වසරේදී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහුට නියෝජ්‍ය කථානායක ධූරය ද හිමි විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදී උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වූයේ ද ගාමිණී ෆොන්සේකා මහතායි. ෆොන්සේකා මහතා සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. ගාමිණී ෆොන්සේකා මහතා වයස අවුරුදු 68 දී මීට වසර 14 කට පෙර එනම් 2004 සැප්තැම්බර් 30 වන දා දැයෙන් සමුගත්තත් ඔහු අදටත් ජන හදවත් තුළ ජීවමාන ය. https://www.youtube.com/watch?v=GiVgwJWTVZ8