ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අද

ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි

by Staff writer 21-03-2018 | 2:08 PM
COLOMBO (Newsfirst) - ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ, වනාන්තර සහ නගර අතර ඇති අන්‍යෝන්‍ය පැවැත්ම සහ සුබසාධනයේ වැදගත්කම පැහැදිලි කිරීම ය. මාර්තු 21 ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිවේදනය කරනු ලැබුවේ 2012 වර්ෂයේදී ය. ඒ අනුව 2013 වසරේ සිට සෑම වර්ෂයකම ලෝක වනාන්තර දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වනාන්තර දිනය සමරන්නේ 2014 වසරේ සිට ය. වර්තමානයේදී ජාතික උරුම වන භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන එකම ප්‍රදේශය සිංහරාජ වනාන්තරය යි. නකල්ස් සංරක්ෂණ වනාන්තරය, සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය හා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් වනාන්තර වේ. ලෝකයේ දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ, වනාන්තර හායනයෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු විමෝචනය යි. සංවර්ධිත රටවල්වල සිට තුන්වන ලෝකයේ රටවල්වල සුවිසල් නගර දක්වා සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ මූලාශ්‍ර ලෙස භාවිත කරනු ලබන්නේ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයන් ය. දිනෙන් දින නාගරීකරණය වීම හා ජනගහණය වර්ධනය වීම සිදු වුව ද ඒ හා සාපේක්ෂව අදාළ ජල මූලාශ්‍ර රැඳි වනාන්තර ප්‍රදේශ වර්ධනය නොවීම සලකා බැලිය යුතු කරුණක් බවට පත්ව තිබේ. අතීත මුතුන් මිත්තන් පරිසරය සමග ජීවත් වෙමින් දැක්වූ ආදරය කොතරමි ද යන්න පැවසීමට හොඳ ම උදාහරණය වන්නේ ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්ගේ ලෝකප්‍රකට ප්‍රකාශය යි. ඔහු අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලියූ ලියුමෙහි පරිසරය සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසා අදත් ලෝකයේ සම්භාවනාවට පත්‍රව සිටියි. "වොෂින්ටන් නගරයේ සිටින ශ්‍රේෂඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. මේ මිහිතලයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වළාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණයක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලය ද අපගේ ම කොටසක් වන්නේ ය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝ ය. පිනිමුවා, අශ්වයා, මහා රාජාලියා, මේ සියල්ලෝ ම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛර ද, තණ බිම්වල තෙතමනය ද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුම ද යන මේ සියල්ල ම එකම පවුලකට අයත් වන්නේ ය. වොෂින්ටනයේ ශ්‍රේෂඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරා ගන්නට නොහැක්කකි. එය අපට එතරම් සුවදායී කාර්යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරය යි." මේ අතර ශ‍්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ද ප්‍රකාශය තුළ අන්තර්ගත වන්නේ පරිසරයේ ඇති වැදගත්කම යි. "මම කුඩා කාලයේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්. එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකම යි. අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක් වීම. මං මේ කැළේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊළඟට මිනිස්සු." https://www.youtube.com/watch?v=3uywlmuM_Yw