ලොව දිගම ඔසරි පොට: වාර්තාව ගැටලු සහගතයි

පාසල් සිසුන් භාවිත කරමින් ගිනස් වාර්තාවක් තැබීමට ගිය සිද්ධියට අදාළව සකස් කළ වාර්තාව ගැටලු සහගත බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි

by Staff writer 21-03-2018 | 11:46 AM
COLOMBO (Newsfirst) - ලොව දිගම ඔසරි පොට සඳහා ගිනස් වාර්තාව තැබීමට මහනුවර, ගන්නෝරුවේදී පැවති උත්සවයට පාසල් සිසුවියන් පිරිසක් යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ වාර්තාවේ සාක්ෂි ලබා ගැනීම නිසි පරිදි සිදු කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දා පැවති උත්සවයේදී මනාළිය ඇඳ තිබූ ඔසරියේ මීටර් 2800ක් දිග පොට ඇල්ලීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් මත යොදා ගත්තේ, අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ 2 වන, 3 වන හා 4 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබූ සිසුවියන් පිරිසකි. එහිදී සිසුවියන්ට සිදුවූ පීඩාකාරී සිදුවීම් පිළිබඳ සලකා බලා ළමා ආරක්ෂක අධිකාරිය මෙම පරීක්ෂණය පවත්වනු ලැබුවේ ය. එහි සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් තම අධිකාරියේ නිලධාරීන් පිරිසක් හා පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව වාර්තාව සකස් කළ බව ය. ඒ සඳහා සාක්ෂි ගොනු කිරීම සිදු කළේ ද පලපුරුදු නිලධාරීන් පිරිසක් විසින් බව ඇය සඳහන් කළා ය. එහෙත් එවැනි තත්ත්වයක් මත වාර්තාවේ සාක්ෂි ලබා ගැනීම වැරදි යැයි පැවසීම ගැටලු සහගත බව සභාපතිවරිය ප්‍රකාශ කළා ය. ඒ අනුව වාර්තාවේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය. මේ අතර සිද්ධිය පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය විසින් ද පරීක්ෂණයක් පැවැත්වූ අතර ඉන් හෙළිවූ කරුණු සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මෙතෙක් හෙළි කර නොමැත.