Facebook පිළිබඳ විමර්ශනයක්

අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසමෙන් Facebook විමර්ශනයක්

by Staff writer 21-03-2018 | 6:46 AM
(Newsfirst) - අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම ෆේස්බුක් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. දේශපාලන උපදේශක සමාගමක් විසින් ෆේස්බුක් ගිණුම් මිලියන 50ක හිමිකරුවන්ගේ පෞද්ගලික තොරතුරු භාවිත කර ඇති බවට එල්ල වන චෝදන හමුවේ මෙම විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් ය. ලන්ඩනයේ පිහිටි කෙම්බ්‍රිජ් ඇනලිටිකා නමැති දේශපාලන උපදේශන සමාගමට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇති අතර 2016 වර්ෂයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කටයුතු භාර දී ඇත්තේ, මෙම සමාගමට බව වාර්තා වේ. එහිදී කෙම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම මිලියන 50කගේ ෆේස්බුක් දත්ත එම ගිණුම් හිමිකරුවන්ගේ අනු දැනුමකින් තොරව භාවිත කර ඇති බවට චෝදනා එල්ල වේ. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නික්ගේ සේවය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බව ය. අමෙරිකානු ජනාධිපතිවරණ නීති කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් කඩ කර ඇති බවට වන චෝදනා හමුවේ මෙම තීරණය ගෙන තිබේ. මේ අතර බ්‍රිතාන්‍ය සහ යුරෝපා පාර්ලිමේන්තු විසින් ෆේස්බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් හට මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර අද දින ෆේස්බුක් සමාගම කොංග්‍රස් සභිකයින් සමග සාකච්ඡා කිරීමට නියමිත ය.