විශ්වාසභංගය කථානායකට: හිටපු ජනපතිගේ අත්සන නැහැ

අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට: හිටපු ජනපතිගේ අත්සන නැහැ

by Hashini De Mel 21-03-2018 | 8:15 PM

COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය අත්සන් කරන්නේදැයි නිව්ස්ෆස්ට් අප මේ පිළිබඳව මහජන මතය විමසීමට ලක් කළෙමු.

මෙම මතවිමසුමේදී 65% ක් ප්‍රකාශ කළේ, ඔහු ඊට අත්සන් නොකරනු ඇති බවයි. අත්සන් තබනු ඇතැයි පැවසූ ප්‍රමාණය 35% කි. ඒ අනුව නිව්ස්ෆස්ට් මතවිමසුමේ බහුතර ජනතා මතයවූයේ මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකරනු ඇති බවයි. නිව්ස්ෆස්ට් මත විමසුමේදී පළ වූ ජනතා මතය සත්‍යයක් බවට පත් කරමින් අද ඉදිරිපත් කළ විශ්වාසභංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර තිබුනේ නැත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය කථානායකවරයාට භාරදීමේ අවස්ථාවට සහභාගි විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේ ය. කරුණු 14 ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කර තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින රාජ්‍ය ආමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන සුසන්ත පුංචි නිලමේ හා නිශාන්ත මුතුහෙට්ටිගම සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබුණි. අද ඉදිරිපත් කළ විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය කඩවීමට හේතු 14 ක් ඉදිරිපත් කර ඇත.
  1. බැඳුම්කර වංචාවක් සිදු කිරීමේ කූඨ අරමුණින් සම්මතයට පටහැනිව මහබැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර අගමැතිවරයා යටතට පත්කර ගැනීම.
  2. බැඳියාවන් අතර ගැටුමක් ඇති රටේ පුරවැසියෙකු ද නොවූ අප කීර්තිමත් ඉතිහාසයක් ඇති අර්ජුන මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ අධිපති ධූරයට පත්කිරීම.
  3. මෑත යුගයේ ලෝකයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන බැඳුම්කර වංචාවට ඉතා පැහැදිලි ලෙස සම්බන්ධවීම.
  4. තම දේශපාලන හිතවතුන්ගෙන් සමන්විතව පිටිපන කමිටුව පත් කර වංචනිකයින් බේරා ගැනීමට උත්සාහ කිරීම.
  5. සැබෑ කරුණු යටපත් කරමින් වංචනිකයින් ආරක්ෂා කර ගැනීමට 2015 මාර්තු 17 වන දින විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමග යැවීම.
  6. වංචාව පිළිබඳව විමර්ශනය කරමින් තිබියදී සාමාජිකයෙකු වෙනස් කර තව සාමාජිකයෙකු කෝප් කමිටුවට පත් කර චූදිතයින් නිදොස් කිරීමට අවිනීත උත්සාහයක් දැරීම.
  7. කෝප් කමිටුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන විමර්ශනය සිදු වූ කාලසීමාවේ එහි සාමජිකයින්ට බලපෑම් කිරීම.
  8. බැඳුම්කර වංචාවව සම්බන්ධ බවට ජනාධිපති කොමිසම හමුවේ හෙළි වූ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරිට මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දෙන්නැයි අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීම.
  9. වෙනත් අධිපතිවරයෙකු මහබැංකුවට පත්කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරද්දී නැවතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීමට වෑයම් කිරීම.
  10. බැඳුම්කර වංචාව නිසා ධූරය අහිමිවීමෙන් පසුවත් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිය අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබාදීම.
  11. අධිකරණ නියෝගයක් නොගෙන මහේන්ද්‍රන් මහතාට රටින් පිටවී අධිකරණය මග හැරීමට අවස්ථාව සැලසීම.
  12. මුදල් අමාත්‍යවරයාට පමණක් බලතල ක්‍රියාත්මක කළ හැකි පනත් 9 ක් මහබැංකුව සිය අමාත්‍යාංශය යටතට ගැනීම හරහා ක්‍රියාත්මක කර එම පනත් උල්ලංඝණය කිරීම.
  13. ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ආර්ථික කළමනාකරණ අනුකමිටුව හරහා මුදල් අමාත්‍යාංශය ද මහබැංකුව ද තමන්යටතට ගෙන ජාතික ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත ආර්ථීක අර්බුදයක් නිර්මාණය කර ජනතාව පීඩාවට පත් කිරීම.
  14. නීතිය හා සාමය ඇමතිධූරය දරමින් මහනුවර සිදුවීම්වලදී රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්ෂණික පියවර ගැනීමට අසමත් වීම.
එම කරුණූ 14 යි. මෙම කරුණු නිසා අගමැතිධූරයෙත් කැබිනට් ඇමතිධූරයෙත් කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවත් ඔහු අගමැති ධූරය දරන ආණ්ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවත් විශ්වාසයක් නැතැයි අද ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ. https://www.youtube.com/watch?v=s28d-VJizsM