නුවරඑළියේ පානීය ජලයට අසූචි මිශ්‍ර වෙයි

නුවරඑළියේ පානීය ජලයට අසූචි මිශ්‍ර වෙයි

by Staff writer 20-03-2018 | 11:15 AM
COLOMBO (Newsfirst) - නුවරඑළිය නගර සීමාවට බෙදා හැරෙන පානීය ජලයෙහි වැඩි බහුතරයක් අසූචි මිශ්‍ර වී ඇති බවට වාර්තා වේ. නුවරඑළිය නගර සීමාවට ජලය සැපයෙන්නේ පිදුරුතලාගල රක්ෂිතයේ ඇති ජල මූලශ්‍ර 8කිනි. එම ජලය ටැංකිවලට එක්රැස් කර ක්ලෝරීන් එක්කර බෙදා හැරීම සිදු කෙරේ. නමුත් පසුගිය දිනවල දිගින් දිගටම මේ පානීය ජලයේ අසූචි මිශ්‍ර වී ඇති බවට වාර්තා වේ. නුවරඑළිය ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මෙහි ජල සාම්පල වල සිදු කළ පරීක්ෂාවේදි අනාවරණය වී ඇත්තේ, ඉකෝලයි නම් අසූචිවල හට ගන්නා බැක්ටීරියාවක් ජලයට එක්ව ඇති බව ය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ, ජල මූලාශ්‍රයන්ගෙන් අසුචි මිශ්‍ර වීමේ සම්භාවිතාවක් නොමැති බව ය. නගරයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානයන්හි නිසි පරිදි මළ අපවහන ක්‍රියාවලියක් නොමැති අතර මළ ද්‍රව්‍ය සෘජුවම ඇළ මාර්ග වෙත මුදාහරින බව වාර්තා වේ. සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ, මෙම ප්‍රදේශයන්හි භූගත ජල නළ පද්ධතිය දැඩි ලෙස පලදු වී ඇති අතර එම අසූචි පානීය ජලයට මිශ්‍ර වන බව ය. ඊයේ පස්වරුවේ නුවරඑළිය නගරයේ පොලීසිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සංචාරයක නිරත වූහ. එහිදී නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් සෘජුව ම ඇළ මාර්ග වෙත මළ අපද්‍රව්‍ය මුදා හැරෙන බව අනාවරණය විය. පොලීසියේ මැදිහත් වීමෙන් මෙම ස්ථානයට නුවරඑළිය නාගරික කොමසාරිස් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කැඳවනු ලැබී ය. එහිදී මෙම තත්ත්වයට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.