අනධ්‍යයන වර්ජනයට අදට දින 21ක්

අනධ්‍යයන සේවකයින්ට විසඳුම් ලබා දෙනවා - උසස් අධ්‍යාපන අමාත්‍යංශය

by Staff writer 20-03-2018 | 9:12 AM
COLOMBO (Newsfirst) - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට අදට දින 21ක් සපිරේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද ඔවුන්ට සාධනීය විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බව ය. මෙම නිවේදනයේ දැක්වෙන්නේ, උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සියලු පාර්ශව සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ය. වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල කටයුතු ඇණහිට තිබේ. මේ අතර මෙම ගැටලු සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සහ විශ්වවිද්‍යාලීය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෝ මෙම සාකච්ඡාවකට එක්වූහ. සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණ ද කිසිදු එකඟතාවකට එළැඹීමට නොහැකි වී ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ, අද දිනයේ තම ගැටලුවලට විසඳුමක් නොලැබුණොත් ඉදිරි දිනවලදී තවත් අත්‍යවශ්‍ය සේවාවන්වලින් ඉවත් වීමට තීරණය කරන බව ය.