ළමා අපයෝජන ගැන ඔබ දන්නේ මොනවාද? පුදුම හිතෙන කරුණු

ළමා අපයෝජන ගැන ඔබ දන්නේ මොනවා ද? පුදුම හිතෙන කරුණු රැසක්

by Staff writer 19-03-2018 | 3:17 PM
ළමා අපයෝජනය නිරන්තයෙන් අපට අසන්නට ලැබෙන දු:ඛිත ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. බොහෝ විට අපට අසන්නට ලැබෙනුයේ, ලිංගික අපයෝජනවලට ගොදුරු වූ අසරණ දරුවන් පිළිබඳව ය. ළමා අපයෝජකයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු ය යන කථිකාවතක් ද මේ වන විට සමාජය තුළ පවතී. කෙසේ වෙතත්, සමාජය තුළ ළමා අපයෝජනය යන්නෙහි නියම අර්ථය දන්නා අය සිටී නම් එය අතළොස්සකි. ළමා අපයෝජන සිදු විය හැකි ක්‍රම මොනවා ද? ළමා අපයෝජන යනු ලිංගික අපයෝජන පමණ ද? ඇතැම් විට මෙම ලිපිය කියවූ විට ළමා අපයෝජන යනු මොනවාදැයි දැන ගැනීමෙන් ඔබ මවිතයට පත් වනු ඇත. ළමා අපයෝජන සිදු වන ක්‍රම කිහිපයකි. 1. මානසික අපයෝජනය 2. නොතකා හැරීම 3. ශාරීරික අපයෝජනය 4. ගෘහස්ත හා පවුල් ප්‍රචණ්ඩත්වය 5. ලිංගික අපයෝජනය 6. සැලසුම්සහගත ලිංගික අපයෝජනය මෙම ක්‍රම එකින් එක විමසා බලමු. 1. මානසික අපයෝජනය මානසිකව දරුවන් අපයෝජනයට ලක් විය හැකි අවස්ථා රැසක් පවතී. එමගින් දරුවාගේ පෞරුෂත්වය සහ විශ්වසනීයත්වය බරපතළ ලෙස කඩා වැටේ. මානසික වශයෙන් අපයෝජනයට ලක් විය හැකි අවස්ථා මෙසේ ය. * දරුවන් ප්‍රතික්ෂේප කිරීම * දරුවන්ට අපහාස කිරීම * ඉටු කළ නොහැකි බලාපොරොත්තු දීම * ළමුන්ට ඉගෙනීමට ඇති අවස්ථා අවහිර කිරීම * ආදරය නොදැක්වීම 2. නොතකා හැරීම දෙමාපියන් හෝ වැඩිහිටියන් නොදැනුවත්කමින් ළමුන් අපයෝජනය වන ක්‍රමයකි, නොතකා හැරීම. ළමුන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම, ඔවුන් අනාරක්ෂිතව තැබීම ආදී කරුණු මෙම අපයෝජනවලට අයත් වේ. එහි අවස්ථා කිහිපයක් පහත පරිදි ය. * ආහාර, ඇඳුම්, නිවාස ආදී මූලික අවශ්‍යතා නොසැපයීම * අවශ්‍යතාව අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම * ළමුන්ට ආදරය නොඇඟවීම * රැකවරණය සහ සහය ලබා නොදීම * ක්‍රමවත්ව මගපෙන්වීම් නොකිරීම * අධ්‍යාපනය ලබා නොදීම * හොඳ නරක කියා නොදීම * ළමුන්ට ඇහුම්කන් නොදීම 3. ශාරීරික අපයෝජනය ශාරීරික අපයෝජනය යනු ළමා අපයෝජනය සම්බන්ධයෙන් පවතින බරපතළ කරුණකි. මෙය ද බොහෝ විට වැඩිහිටියන්ගේ නොදැනුවත්කම නිසා සිදු වේ. * අනවශ්‍ය ලෙස දරුවන් ස්පර්ශ කිරීම * වැඩිපුර උත්තේජනය වන ස්ථාන පිරිමැදීම * අනවශ්‍ය ලෙස චුම්භනය (kissing) කිරීම ඉහත දක්වා ඇති කරුණු හේතුවෙන් දරුවාට ශාරීරික අපයෝජනයක් සිදුවේ. 4. ගෘහස්ත හා පවුල් ප්‍රචණ්ඩත්වය ගෘහස්තව එසේ නැතහොත් දරුවන් ඉදිරියේ දෙමාපියන් හෝ වැඩිහිටියන් අතර සිදුවන ප්‍රචණ්ඩත්වය ළමා අපයෝජනයකි. එම ප්‍රචණ්ඩකාරී සිද්ධි හේතුවෙන් ළමයින් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වනු ඇත.   5. ලිංගික අපයෝජනය දරුවන්ට එරෙහිව සිදුවන බරපතළ ම අපයෝජනය වන්නේ, ලිංගික අපයෝජනය යි. වැඩිහිටියන් විසින් කුඩා දරුවන් ලිංගිකව අපයෝජනට ලක් කළ අවස්ථා රැසක් ප්‍රවෘත්ති හරහා මේ වන විට අනාවරණය වී තිබේ. ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය අනුව ඇතැම් වැඩිහිටියන් තුළ පවතින මානසික රෝගී ස්වභාවයන් හේතුවෙන් මෙවැනි අපරාධවලට ඔවුහු යොමු වෙති. මෙවැනි සිද්ධිවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සෑම දෙමාපියෙකුගේ ම වගකීමකි. 6. ආදරය නොදැක්වීම දෙමාපියන් සිය දරුවන්ට ආදරය දැක්වීම දරුවන්ගේ මානසික වර්ධනයට ප්‍රබලව බලපායි. එහෙත්, කාර්යබහුල ඇතැම් දෙමාපියන්ට සිය දරුවන් සමග ආදරයෙන් කාලය ගත කිරීමට වේලාවක් නැත. ඉන් සිදුවන්නේ, දරුවන් දෙමාපියන්ගෙන් ඈත්ව යාම යි. 7. ශාරීරික දඬුවම් කිරීම
‘හැඳි නොගා හදන හොද්ද ත් - නොගහ හදන දරුවා ත් දෙදෙනා ම එක ය‘ යනු අතීතයේ පැවති අදහසකි. එහෙත්, ළමා මනෝ වෛද්‍යවරු එම අදහස තරයේ බැහැර කරති.
ඔවුන් පවසන්නේ, දඬුවම් කිරීමෙන් නොව සෙනෙහසින් තේරුම්කර දීමෙන් දරුවන් යහ මග යැවිය හැකි බව ය. ඒ අනුව, ශාරීරික දඬුවම් දීම ද ළමා අපයෝජනයකි. ඉහත සඳහන් කරුණු වටහාගෙන දරුවන් නිසි මග යැවීම සියලු දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ පරම වගකීමකි. සටහන: කුමුදු චම්පික ජයවර්ධන