මිග් ගනුදෙනුව: තව ත් සිව්දෙනෙකු ගැන අනාවරණයක්

මිග් ගනුදෙනුව: තව ත් සිව්දෙනෙකු ගැන අනාවරණයක්

by Hashini De Mel 19-03-2018 | 8:59 PM

COLOMBO (News 1st) - රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කරන පුද්ගලයකු බවට ඩුබායි බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබේ.

පෙරේදා ඔවුන්ට දැනුම් දුන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු හෝටල්, ගුවන්තොටුපොළ ආදිය මේ පිළිබඳව දැනුවත් කර ඇති බව එරට බලධාරීන් දන්වා ඇති බවයි. මේ අතර මෙම ගනුදෙනුව පිටිපස සිටින සිංගප්පූරු හා යුක්‍රේන ජාතිකයින් සිව්දෙනෙකු පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණයවී තිබේ. 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානා 4 ක් අලුතින් මිළදී ගැනීම සහ තව ත් එවැනි යානා 3 ක් හා මිග් 23 යානයක් අලුත්වැඩියා කිරීමට අදාළ ගනුදෙනුවෙන් බරපතළ මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට උදයංග වීරතුංග මහතාට එරෙහිව චෝදනා එල්ලවී ඇත. පරීක්ෂණවලින් අනාවරණය වූයේ, බෙලිමිස්සා නමැති ව්‍යාජ සමාගමක් හරහා මුදල් ගනුදෙනු සිදු කර යුක්‍රේනයේ, යුක්‍රේන් මාෂ් නමැති රාජ්‍ය සමාගමෙන් මෙම යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාව සිදු කර ඇති බවයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම ගනුදෙනුවට අදාළව විමර්ශන ප්‍රගතිය පසුගිය සිකුරාදා අධිකරණයට වාර්තා කළේ ය. එහිදී අනාවරණය වූයේ 2000 වසරේ ශ්‍රී ලංකාවට මිග් යානා මිලදී ගැනීමට මැදිහත් වූ සිංගප්පූරුවේ ඩී. එස්. එලායන්ස් සමාගම මෙම ගනුදෙනුව පිටුපස ද සිටින බව ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුක්‍රේන් මාෂ් හා බෙලිමිස්සා හෝල්ඩින් සමාගම් අතර 2006 ජුලි 26 වන දා අත්සන් කර තිබූ ගිවිසුම යුක්‍රේන් මාෂ් සමාගමේ ලියාපදිංචි කර නැතැයි පරීක්ෂණවලදී තහවුරුවී තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බෙලිමිස්සා සමාගම පිළිබඳව බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි මධ්‍යම මූල්‍ය විමර්ශන ඒජන්සියෙන් කළ විමසීම්වලදී අනාවරණයවී ඇත්තේ, ලී තෙයින් සෝ සහ න්ග්ලේ කිම් සෝ නමැති දෙදෙනෙකු බෙලිමිස්සා සමාගමේ අධ්‍යක්ෂවරුන් හා කොටස්කරුවන් ලෙස නම්කර ඇති බවයි. ලී තෙයින් සෝ සිංගපුරුවේ පිහිටි කුප්‍රකට යුධ උපකරණ ගනුදෙනු කරන සමාගමක් වූ ඩී. එස්. එලායන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුවන අතර න්ග්ලේ කිම් සෝ ඔහුගේ බිරිඳයි. මේ අතර ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව සඳහා ගුවන් හමුදාව අත්සන්කළ ගිවිසුම යුක්‍රේන් මාෂ් සමාගමේ ලියාපදිංචිකර නොතිබූ අතර ඒ වෙනුවටඩී. එස්. එලාන්ස් සමාගම එළැඹි ගිවිසුම් දෙකක් එහි ලියාපදිංචි කර තිබුණි. යුක්‍රේන් මාෂ් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරයෙකු වූ ඩී. ඒ. පැරගුඩොව් හා ඩී. එස්. එලායන්ස් සමාගම වෙනුවෙන් ලී සේයින් සෝ එම ගිවිසුම්වලට අත්සන් කර තිබේ. විමර්ශන කණ්ඩායම් අනාවරණ කරගෙන ඇත්තේ, මෙම ගිවිසුමි ව්‍යාජ ලෙස සකස් කර යුක්‍රේන් මාෂ් සමාගමේ ලියාපදිංචි කර තිබූ බවයි. මෙම ගිවිසුම්වලට අනුව ඩී. එස්. එලායන්ස් සමාගම යුක්‍රේන් මාෂ් සමාගමට ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7. 83 ක් පමණි. එහෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගනුදෙනුව සඳහා බෙලිමිස්සා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 15. 66 ක් ගෙවා තිබුණි. මේ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 6.83 කට ආසන්න මුදලක් මෙම ගනුදෙනුවෙන් වංචාකර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ. එම මුදලින් ප්‍රතිලාභ ලැබුවේ කවු ද? කරුණු තවදුරටත් අනාවරණය කර ගැනීම සඳහා ඩී. ඒ. පැරගුඩොව් හා මයිකොලා කුල්දෙයිර්කිව් නමැති යුක්‍රේන් ජාතිකයින්ගෙන් සහ ලී තෙයින් සෝ හා න්ග්ලේ කිම් සෝ නමැති සිංගප්පූරු ජාතිකයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ. https://www.youtube.com/watch?v=9mdrzPAOSXs