ජගත් මානව හිමිකම් සැසියට ගිය ලංකාවේ  ධූත පිරිස

ජගත් මානව හිමිකම් සැසියට ගිය ලංකාවේ ධූත පිරිස

by Hashini De Mel 19-03-2018 | 9:54 PM

COLOMBO (News 1st) - ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ධූත පිරිස අද ජිනිවා නුවර බලා පිටත් ව ගොස් තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුලු පිරිසක් මෙවර සමුළුව සඳහා සහභාගීවනු ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා සංහිදියාව යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙවර සමුළුවට එක් ව සිටි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඒ. එම්. බායිස් මහතා ජිනිවා නුවර බලා පිටත්ව ගොස් ඇත. 2017 වසරේ මාර්තු 23 වන දා ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගත් 30/1 යෝජනාවට අනුව මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත වේ. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් අනිද්දා ඉදිරිපත් කරන බව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ ය. එම යෝජනාව හැඳින්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය ලෙස ය. මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙන සැසිවාරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳව අමෙරිකාවට පැහැදිලි කිරීම නියමිත බවයි. https://www.youtube.com/watch?v=-GdNRJfaJSc