ඇවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

ඇවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

by Hashini De Mel 19-03-2018 | 6:14 PM

COLOMBO (News 1st) - ඇවන්ට්ගාඩ් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 26 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද දින නියම කර තිබේ.

මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට සහ මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත්තේ, අල්ලස්දීම හා අල්ලස් ලබා ගැනීම යන චෝදනා යටතේ ය. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසරදීම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 355ක් ලබාදීම හා ලබා ගැනීම අදාළ චෝදනාව වේ. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුලු සාක්ෂිකරුවන් පිරිසකට එදින අධිකරණය හමුවේ, පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය. මේ අතර අධිකරණය දැනුම් දුන්නේ, විත්තිකරුවන් දෙදෙනාට විදේශගත වීම වළක්වමින්, පනවා ඇති නියෝගය නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වෙන ජුනි මස 26 වන දා තෙක් අත්හිටුවන ලෙසයි. එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය. මේ අතර මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකුව සිටි නිපුණ රාමනායක නැමැත්තාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු 8 දෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි 13 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද දින නියම කර තිබේ. අධිකරණය නියෝග කළේ, එම නඩු පැමිණිල්ලේ 30 වැනි සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ය.