පළාත් පාලන ආයතන පිහිටුවීමේ දිනයේ වෙනසක් නැහැ

පළාත් පාලන ආයතන පිහිටුවීමේ දිනයේ කිසිඳු වෙනසක් නැහැ - ඇමති ෆයිසර් මුස්තාෆා

by Chathuranga Rajapaksha 18-03-2018 | 7:04 AM
COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිමේ දිනයේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ, අනිද්දා වනවිට පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් කොමසාරිස්වරුන් වෙත ලබා දී ඇති බව ය. පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 24 ක් සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණය ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිටත් ප්‍රකාශයට පත් කර අවසන්. රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ සභික නාම ලේඛණය ඊයේ පස්වරුවේ තම දෙපාර්තමේන්තුවට ලැබුණු බව ය. එම නාම ලේඛණය පසුවිපරම් සිදු කිරිමෙන් පසු අනිද්දා වනවිට ගැසට් නිවේදනය නිකුත් කිරිමට අපේක්ෂා කරන බව ද රජයේ මුද්‍රණාලායාධිපතිනිය ප්‍රකාශ කළා ය.