ජනපතිවරණය අතරතුර රුසියාවට සයිබර් ප්‍රහාරයක්

ජනපතිවරණය අතරතුර රුසියාවට සයිබර් ප්‍රහාරයක්

by Sagarika Chathumali 18-03-2018 | 5:33 PM

රුසියානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම අතරතුර එරට මධ්‍යම මැතිවරණ කොමිසමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම සඳහන් කළේ, සිය තොරතුරු දෙපාර්තමේන්තුවට සහ මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි. රුසියානු බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, රටවල් 15 කින් එම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අද පැවැත්වෙන රුසියානු සමූහාණ්ඩුවේ 5 වන ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරි‍ම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 111 කි. අද උදෑසන 8 ට ආරම්භ වූ ඡන්ද විමසීම රාත්‍රි 8 ට අවසන් වීමට නියමිත අතර ජන්දදායකයන් දැඩි උනන්දුවකින් යුතුව ජන්දය ප්‍රකාශ කරන ආකාරයක් දක්නට ලැබෙන බව, එරට මාධ්‍ය වාර්තා කලා. ස්වදේශිකත්වය මූලික කරගත් පුටින්ගේ ප්‍රතිපත්ති හේතුවෙන් ජනාධිපති විලැද්මීර් පුටින්ට මෙවර මැතිවරණයේදී 70%ක ජන්ද ප්‍රතිශතයක් හිමි වනු ඇති බවට මැතිවරණ විශ්ලෙෂකයෝ මත පළ කරති. මෙවර රුසියානු ජනාධිපතිවරණය සඳහා ජනපති විලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයෝ 8 දෙනෙක් තරග වැද සිටිති. ඊට එරට සිවිල් ආරම්භක පක්ෂය නියෝජනය කරමින් කෙසියා සොර්බක්, කාන්තා අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටින්නී ය. මේ අතර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය අහිමි වීම මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයකි. ජනාධිපති විලැද්මීර් පුටින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ සිව්වැනි වරටත් ලොව විශාලතම රාජ්‍යයේ බලය සියතට ගැනීමේ අරමුණිනි. 1999 වසරේ දෙසැම්බර් 31 වන දා පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වූ අතර 2000 වසරේ මැයි 7 වන දා ඔහු රුසියානු සමූහාණ්ඩුවේ දෙවැනි ජනපති බවට පත්විය. අනතුරුව ඔහු යළිත් වරක් රුසියාවේ නායකයා බවට පත්වූයේ 2012 වසරේදීයි.