ෂී ජින්පිං යළිත් චීනයේ ජනපති ලෙස තේරී පත් වෙයි

ෂී ජින්පිං 2 වන වරටත් චීනයේ ජනාධිපති ධූරයට තේරී පත් වෙයි

by Staff writer 17-03-2018 | 2:08 PM
(Newsfirst) - ෂී ජින්පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වෙයි. ඒ අනුව ඔහු චීනයේ ජනාධිපති ධූරයට පත් වන්නේ 2 වන වරටයි. ඡන්ද විමසීමේදී ඒකමතිකව ෂී ජින්පිං මහතා චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති හා චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම යුද කමිටු සභාපති ධූරයට තේරී පත් විය. 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ 5 වන පූර්ණ සැසිය අද (17) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ‍ශාලාවේදී පැවැත්විණි. මීට අමතරව, ලී චැන් ෂූ මහතා 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා වශයෙනුත් වාං චී ෂැන් මහතා චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති වශයෙනුත් එම අවස්ථාවේදී තේරී පත් වූහ. 5 වන පූර්ණ සැසියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණි. එය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවුරුම් දීමේ ක්‍රමය ස්ථාපිත වීමෙන් පසු චීන නායකයින් චීන ජාතික මහජන කොංග්‍රසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ ප්‍රථම දිවුරුම් දීම ය.