වීදි ළමුන් සිඟමනේ යොදවන්නන් සොයා වැටලීම්

වීදි ළමුන් සිඟමනේ යොදවන්නන් සොයා දීප ව්‍යාප්ත වැටලීම්

by Staff writer 17-03-2018 | 10:05 AM
COLOMBO (Newsfirst) - වීදි ළමයින් ඇතුළු මෙරට ආනාරක්ෂිත ළමයින් සුරක්ෂිත පරිසරයකට යොමු කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණය කිරීමේ කාර්යංශයේ මෙහෙය වීමෙන් එය ක්‍රියාත්මක ය. පොලීසිය සඳහන් කළේ, පසුගිය කාලයේ දිවයින පුරා කළ සමීක්ෂණයකින් එවැනි ළමයින් 600කට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බව ය. අනාරක්ෂිත තත්ත්වයට පත් වූ ළමයින් අතර මව් පිය රැකවරණය අහිමිවූවන් මෙන් ම මව් පියන් රැකි රක්ෂා සඳහා විදෙස් ගතවීම හා විවිධ ප්‍රදේශවලට යාම වැනි සිද්ධි හේතුවෙන් පීඩාවට පත්වූවන් ද සිටින බව හෙළිව තිබේ. මේ අතුරින් වීදි ළමයින් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ. එවැනි ළමයින් සිඟමන් යැදීම ආදී විවිධ කටයුතු සඳහා යොදා ගන්නා පිරිස් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක ය. පොලීසිය පැවසුවේ, කොළඹ නගරයේ පමණක් පසුගිය කාලයේ එවැනි වැටලීම් 28ක් කළ බව ය. ඉන් තම භාරයට ගත් ළමයින් පරිවාස භාරයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව වීදි ළමයින් විවිධ කටයුතු සඳහා යොදා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සෑම පොලිස් ස්ථානයක් හරහා ම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට උපදෙස් දී තිබේ.