ශකිබ් අල්-හසන්ට සහ නූරූල් හසන්ට දඩ

විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ

by Staff writer 17-03-2018 | 3:43 PM
COLOMBO (Newsfirst) - බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී හැසිරුණු ආකාරය හේතුවෙනි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන්, ක්‍රීඩකයින් වෙත මෙම කුසලතා ලකුණු අඩු කිරීම සිදු කරනු ලැබේ. අදාළ දඩුවම මාස 24 ක කාලයක් දක්වා බලපැවැත්වෙන අතර කුසලතා ලකුණු 3 ක් අඩු වුවහොත් ක්‍රීඩකයා සතු සමස්ත ලකුණු ප්‍රමාණයෙන් එක් ලකුණක් අඩු වනු ඇති. මේ අතර තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් ද සිදුවිය. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු වූ අතර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1878793718847544/