බංග්ලාදේශය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි

by Chathuranga Rajapaksha 17-03-2018 | 8:24 PM
COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන්ගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන්, ක්‍රීඩකයින් වෙත මෙම කුසලතා ලකුණු අඩු කිරීම සිදු කරනු ලැබේ. අදාළ දඩුවම මාස 24 ක කාලයක් දක්වා බලපැවැත්වෙන අතර කුසලතා ලකුණු 3 ක් අඩු වුවහොත් ක්‍රීඩකයා සතු සමස්ත ලකුණු ප්‍රමාණයෙන් එක් ලකුණක් අඩු වනු ඇති. එම තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් ද සිදුවිය. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු වූ අතර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. නිදහස් කුසලානයේ අවසන් මහා තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර හෙට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1878793718847544/