ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළට

ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළට

by Chathuranga Rajapaksha 17-03-2018 | 6:48 PM
COLOMBO (Newsfirst) - දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අද උපරිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයෙනි. එය සෙල්සියස් අංශක 35.0 කි. කොළඹ, ගාල්ල, කටුගස්තොට, පුත්තලම, රත්මලාන සහ වව්නියාව ප්‍රදේශවල රාත්‍රි කාලය තුළ අවම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03 කින් ඉහළ ගොස් තිබේ. අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, කටුනායක, කුරුණෑගල, මහඉලුප්පල්ලම, මන්නාරම සහ රත්නපුර ප්‍රදේශවල උෂ්ණත්වය ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙලෙස උෂ්ණත්වය ඉහළ යෑමට හේතු කිහිපයක් මුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. බෙංගාල බොක්ක කැළඹිලි ස්වභාවය අනුව මෙම තත්ත්වය වෙනස් විය හැකි බව ද ඔහු සඳහන් කළේය.