ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන ජනපතිට ලිපියක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් පිළිබඳ විශ්වාසයක් නැහැ - ගුවන් නියමුවන්ගේ සංසදයෙන් ජනපතිට ලිපියක්

by Staff writer 16-03-2018 | 7:17 PM
COLOMBO (Newsfirst) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය ලිපියක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ. මෙම ලිපිය ජනාධිපතිතුමා වෙත යොමු කර ඇත්තේ, ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සහයකයින්ගේ සංගමය හා ශ්‍රී ලංකා ගුවන් සේවා විධායක සංගමය ඒකාබද්ධව ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දූෂණ අක්‍රමිකතා සෙවීමට ජනාධිපතිතුමා පත් කළ ජනාධිපති කොමිසමට මෙම ලිපියෙන් ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය සිය ප්‍රසාදය පළ කළේ ය. ප්‍රධාන වශයෙන් ගුවන් නියමුවන්ගේ සංසදය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගත් පටුබද ගුවන් යානා තුනක් සඳහා ආරක්ෂිත ගුවන් ගමනකට අවශ්‍ය යෝග්‍යයතා සහතිකයක් වන එටොප්ස් (etops) ​සහතිකය ලබාගෙන නොමැති බව ය. එටොප් සහතිකය නොමැති වීමෙන් අදාළ ගුවන් යානා සියලු ම ගමනාන්ත සඳහා යෙදවීමේ හැකියාව අහිමි වන අතර උපරිම කාර්යක්ෂමතාවයෙන් යානා භාවිත කර අදායම් ඉපයීමේ හැකියාව සීමා කරගෙන තිබේ. එමෙන් ම දැඩි ලෙස පාඩු ලබමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ යානා නිසි ප්‍රයෝජනයකින් තොරව ගුවන්තොටුපොළෙහි ගාල් කර තැබීමට සිදුවීම සමාගමේ පාඩුව තවත් තිව්‍රර කරන බව ද ඔවුහු පෙන්වා දෙති. ගුවන් නියමුවන්ගේ සංසදය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, ආයතනික ව්‍යුහය හෝ ගුවන් ගමන් ගමනාන්ත පිළිබඳව කිසිදු වෙනස්කමක් කිරීමට වත්මන් ප්‍රධාන විධායක නිලධාරීට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු අවසරයක් ලබා නොදෙන ලෙස ය. තව ද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීම්වලට අදාළ උපදේශන සමාගමක් වන නයිරාස් සමාගමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු විශ්වසනීය භාවයක් නොමැති බව ද ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංදසය ලිපිය මගින් ජනාධිපතිතුමා වෙත දැනුම් දී තිබේ.