වැලිකඩ ගැටුමේ කමිටු වාර්තාව ඉල්ලුවට ලැබුණේ නැහැ

වැලිකඩ ගැටුම පිළිබඳ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර නැහැ - මානව හිමිකම් කොමිසම

by Chathuranga Rajapaksha 16-03-2018 | 8:51 AM
COLOMBO (Newsfirst) - වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබා දෙන්නැයි ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලිමට මෙතෙක් ප්‍ර‍තිචාර ලැබී නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය සඳහන් කළේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීන්ට අදාළ වාර්තාව ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කළ බව ය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් තොරතුරක් ඉල්ලා සති දෙකක් ඇතුළත එය ලබාදිය යුතු වේ. එහෙත් එහි ඇති බැරෑරුම් ස්වභාවය මත එම කාලසීමාව දින 21 දක්වා දීර්ඝ කරගත හැකි ය. ඉන් අනතුරුව අදාළ තොරතුරු ලබා නොදෙන්නේ නම්, ඊට බලපෑ හේතු ද අදාළ පාර්ශවයට දැනුම් දීම, තොරතුරු නිලධාරියාගේ වගකීමකි. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම කර සති 3ක කාලයක් ඉක්මවා ඇතත්, පොලිස් දෙපාර්තමේන්තුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිඳු දැනුම්දීමක් කර නැතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය සදහන් කළා ය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ මහතා විසින් වැලිකඩ ගැටුම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කෙරුණේ 2015 වසරේ ජනවාරි 22 වැනිදා ය. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ සහ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක යන මහත්වරුන් ඇතුළත් ය. පිටු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත කමිටුවේ අවසන් වාර්තාව 2015 වසරේ ජුනි 9 වැනිදා ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේය. අග්‍රාමාත්‍යවරයාට වාර්තාව භාර දුන්න ද, මෙතෙක් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරිමට හෝ වාර්තාවේ පිටපත් අදාළ අංශවලට යොමු නොකිරීම පිළිබඳ කනගාටු වන බව කමිටු සාමාජික විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වාර්තාවක් ඉල්ලීමට සිදුව ඇත්තේ ද එය තවමත් වගකිවයුතු ආයතනවලට නොලැබීම හේතුවෙනි. 2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 20 කි. එය, හඳුනාගත් පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බව මේ වන විටත් අනාවරණය වී අවසන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1877110565682526/