නිදහස් කුසලානයේ බංග්ලාදේශය අවසන් මහා තරගයට

නිදහස් කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය අවසන් මහා තරගයට

by Staff writer 16-03-2018 | 10:43 PM
COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය මීට සුළු වේලාවකට පෙර නිමා විය. ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළේ ය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සමගින් කුසල් මෙන්ඩිස්. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 15 කට සීමා කරමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 4 කට දැවී ගියේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 11යි. පන්දුවාර 20 යි 20 දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 61 ක් රැස් කළේ ය. නායක තිසර පෙරේරා අද වාර්තා කළේ පන්දුවාර 20 යි 20 දිවියේ මංගල අර්ධ ශතකයයි. තිසර පෙරේරා ලකුණු 58 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159 කි.