"ඥානසාර හිමි ජනපති සමග ජපානයේ ගියේ නැහැ"

ඥානසාර හිමි ජනපති සමග ජපානයේ ගියේ නැහැ - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 16-03-2018 | 5:43 PM
COLOMBO (Newsfirst) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරය සඳහා ගිය නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහභාගී නොවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ජනාධිපතිතුමාගේ රාජ්‍ය සංචාරයේ නියෝජිත කණ්ඩායම සමග ජපානයට පැමිණි බවට සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි ඔස්සේ තොරතුරු ප්‍රචාරය වෙමින් ඇති බව ය. එය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිතුමාගේ ජපාන සංචාරයට පෙර, ජපානයට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවට උන්වහන්සේ ද එක්ව ඇති බව ය. එය සංවිධාන කළේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බවත්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊට පැමිණ ඇත්තේ ජපානයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ සමග බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ උත්සවයේ ඡායාරූප කිහිපයක් ලබා ගනිමින් සකස් කරන ලද ප්‍රවෘත්තියක් හරහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිතුමාගේ නියෝජිත කණ්ඩායම සමග ජපානයට පැමිණි බවට සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි හරහා ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ය.