අභියෝගයට ලක් වූ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ඇරඹේ

by Staff writer 16-03-2018 | 9:56 PM
COLOMBO (Newsfirst) - අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරිණි. එම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා යන මහත්වරුන් විසිනි. අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, අදාළ පනත සම්මත වුවහොත් විශේෂ මහාධිකරණ පිහිටුවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට හිමි වන බව ය. අධිකරණය සතු විය යුතු එවැනි බලතල දේශපාලනඥයෙකු වන අමාත්‍යවරයාට හිමි වීම අහිතකර බවත්, එමගින් නීතිය දේශපාලනීකරණය විය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ඔහු පෙන්වා දුන්නේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි පොලිස් ඒකක මගින් සිදු කරන විමර්ශන මත අමාත්‍යවරයාගේ කැමැත්ත පරිදි නඩු පැවරීමේ අයිතිය නීතිපතිවරයා හා අල්ලස් කොමිසම වැනි ආයතනවලට හිමි වීමෙන් තෝරා ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක් එම අධිකරණ හමුවේදී සිදුවිය හැකි බව ය. එය දේශපාලන පළි ගැනීම්වලට හේතු විය හැකි බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. පෙත්සම් සම්බන්ධ විභාගය ලබන 19 වන දා කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස සම්බන්ධ වූ අයගේ සහ නීතිපතිවරයාගේ දේශන එදින දක්වා කල් තැබුවේ ය. පසුගිය මාර්තු 06 වන දාත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබුවේ, 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ ඇතැම් වගන්ති වෙනස් කිරීමට යෝජනා කරමිනි. අදාළ කෙටුම්පතට අනුව නඩු කඩිනම් කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ පෙත්සම් ඉදිරිපත් වූ අතර ඊයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු 11 දෙනෙක් එම පෙත්සම්වලට එරෙහිව මැදිහත්වීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියහ.