"අගමැතිව ඉවත් කිරීම එ.ජා.ප.ය විසින් ම සිදු කරයි"

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගේනවා - මහින්ද රාජපක්ෂ

by Staff writer 16-03-2018 | 7:36 PM
COLOMBO (Newsfirst) - අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කළේ ය. එම වාර්තාවේ දැක්වුණේ, අද කොළඹදී ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේ කරුණ අනාවරණය කළ බව ය. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ ම මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ඇති බවත් තමන්ට කිරීමට දෙයක් නැති වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුවේදී ප්‍රකාශ කර තිබේ. බී.බී.සී. සිංහල සේවය වාර්තා කළේ, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් යෝජිත විශ්වාසභංගයට අත්සන් කරනු ඇතැයි රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බව ය. එම පක්ෂයේ තවත් පිරිසක් ඡන්දයේදී සහය දෙනු ඇතැයි ද ඔහු පවසා තිබේ. නමුත් විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි සිතෙන බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ආරක්ෂා කරන්නේ ඔහු නේදැයි විමසූ පැනයට පිළිතුරු දී ඇත්තේ සිනහවකිනි. ආණ්ඩුව භාර ගැනීමට සූදානම් නොමැති බව ද ඔහු මෙහිදී පවසා තිබේ. රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, විපක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකුට සහය දීමට සූදානම් බව ය. කෙසේ වෙතත් තමන් ඉල්ලන්නේ ඉක්මන් මහ මැතිවරණයක් බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුවේදී යළිත් අවධාරණය කර තිබේ.