උදයංග වීරතුංගට එරෙහිව විවෘත වරෙන්තුවක්

උදයංග වීරතුංගට එරෙහිව විවෘත වරෙන්තුවක්

by Chathuranga Rajapaksha 16-03-2018 | 1:44 PM
COLOMBO (Newsfirst) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද විවෘත වරෙන්තු නිකුත් කළේ ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවීය. උදයංග වීරතුංග මහතා අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇත්තේ එම ගණුදෙනුවට මැදිහත් වී රුපියල් කෝටි ගණනක් අයුතු ලෙස උපයා ඇති බවට චෝදනා නගමිනි. ජාත්‍යන්තර පොලීසියට යැවීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද අධිකරණයේදී ඉල්ලීමක් කළේ ය. මීට අමතරව යුක්‍රේනයේ පදිංචිකරුවන් 5 දෙනෙකු සහ එහි පිහිටි සමාගමක් නඩුවේ සැකකරුවන් ලෙස නම් කර, ඔවුන්ට ද නොතීසි නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම පුද්ගලයින් හා අදාළ සමාගම කර ඇති වැරදි හෝ ඔවුන්ට එල්ල කළ හැකි චෝදනා පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර කරුණු තහවුරු කරන ලෙසට පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 26 වන දා යළි කැඳවීමට දින නියම කළා ය.