Facebook අවහිරයෙන් වූ අපහසුව ගැන රජයේ කනගාටුව

සමාජ මාධ්‍ය අවහිරයෙන් වූ අපහසුව ගැන රජයේ කනගාටුව

by Sagarika Chathumali 15-03-2018 | 7:22 PM
COLOMBO (News 1st) : Facebook සමාජ ජාලය සඳහා පනවා තිබූ තාවකාලික අවහිර කිරීම අද දහවල් ඉවත් කෙරිණ. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත කළ නියෝගයක් අනුවයි. මෙම තාවකාලික සමාජ මාධ්‍ය අවහිරය හේතුවෙන් ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව රජය කනගාටුව පළ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද දහවල් නිවේදනය කළේ ය. මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 7 වන දා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය පියවර ගත්තේ ය. ඊයේ දිනය වනවිට Viber හා Whatsapp සඳහා පැනවූ සීමා ලිහිල් කර තිබූ අතර අද Facebook සීමාවන් ලිහිල් කළේ, එම සමාගමේ නියෝජිතයින් සමග කළ සාකච්ඡාවකින් පසුවයි. Facebook සමාගමේ ඉන්දීය හා දකුණු ආසියානු කලාපයේ ප්‍රජා සම්මතයන් පිළිබඳ කළමනාකරු බහිරව් ආචාරියා සහ එහි අධ්‍යක්ෂ ශිව්නාත් තුක්රාල් යන මහත්වරුන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා හමුවිය. මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ Twitter පණිවුඩයේ සඳහන් වූයේ තම උපදෙස් මත ලේකම්වරයා සිදු කළ මෙම සාකච්ඡාවේදී වෛරී ප්‍රකාශ හා උසිගැන්වීම් සඳහා තම වේදිකාව පරිහරණය නොකරන බවට Facebook සමාගමේ නියෝජිතයින් එකඟතාව පළ කළ බවයි. ඒ අනුව Facebook වෙත පනවා තිබූ තාවකාලික තහනම වහා ඉවත් කරන්නැයි තමන් විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දුන් බව ජනාධිපතිවරයාගේ Twitter පණිවුඩයේ සඳහන් ය. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වර්ගවාදී, ආගම්වාදී .වෛරී ප්‍රකාශ පැතිරීයාම නියාමනය කිරීම සඳහා ක්‍රමවේද සහ ආයතනික ව්‍යුහයන් ස්ථාපනය කිරීම සඳහා Facebook බලධාරීන් එකඟතාව පළ කළ බවයි. ඒ අනුව රජය සිවිල් ජනතාව හෝ අපරාධ පරීක්ෂණ ආයතන කරන කරුණු දැක්වීම් පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හා ක්‍රීයාත්මක වීමට Facebook නියෝජිතයින් ඉදිරියේදී කටයුතු කරනු ඇති. Facebook සමාජ වෙබ් අඩවිය භාවිත කරමින් වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම ශ්‍රී ලංකාවේ නීතීය යටතේ වරදක්වන බැවින් එවැනි කාර්යන්හි නිරතවෙන ඕනෑ ම කෙනෙකු පිළිබඳව තම ප්‍රජා සම්මතයන් අනුව කටයුතු කිරිමට Facebook සමාගම කැමැත්ත පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වුණේ, මෙම එකඟතා පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් නියමිත කාල නියමයන් තුළ සිදුකිරීමටත් ඒ මගින් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි පියවර සැලසුම් සහගතව අනාගතයේදී ක්‍රියාත්ම කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වූ බවයි. ඇතැම් සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයෙන් ජාතික සමගියට හා මහජන ආරක්ෂාවට බාධා වන අයුරින් පැතිර ගිය කළහකාරී සිදුවීම් සමනය කිරීමට හැකියාවක් ලැබුණු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සිහිපත් කර තිබේ.