ලසන්ත ඝාතන අභිරහස ගැන අධිකරණයේදී හෙළිදරව්වක්

ලසන්ත ඝාතන අභිරහස ගැන අධිකරණයේදී හෙළිදරව්වක්

by Sagarika Chathumali 15-03-2018 | 8:05 PM

COLOMBO (News 1st) : ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත හා පොලිස් සටහන් පොතේ තිබු පිටු ඉවත් කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගේ බලපෑම් මත බව අද අධිකරණයේදී හෙළි විය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී පැවසුවේ හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාගෙන් පසුගිය දා ලබාගත් ප්‍රකාශයකදී මෙම කරුණු අනාවරණ කර ඇති බවයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායකක්කාර සහ හිටපු පොලිස් පරික්ෂක තිස්ස සුගතපාල යන මහත්වරුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ. නඩුවේ දෙවන සැකකරු වන තිස්ස සුගතපාල මහතා එවක ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. අද නඩුව කැඳ වූ අවස්ථාවේ පරීක්ෂණ ප්‍රගතිය දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් පැමිණි බව කියන යතුරු පැදිය සම්බන්ධයෙන් අපරාධ යුද හමුදා බුද්ධි අංශයේ යතුරුපැදි අංශයේ නිලධාරින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවයි. මීට පෙර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගත් බව ද ඔවුහු දැනුම් දුන්හ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකථනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික අංශය මගින් වාර්තාවක් ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අද අවසර ලබා දී තිබේ. පසුගිය 8 වන දා නඩුවේ තුන්වන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බන්ධනාගාරයට ගිය ද ඔහු ක්ලාන්තවීම හේතුවෙන් එය ලබා ගැනීමට නොහැකි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කියා සිටියේ ය.