අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

by Hashini De Mel 15-03-2018 | 12:46 PM

COLOMBO (News 1st) - හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළේ ය.

නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර සිටින පුද්ගලයකු යැයි පෙනී යන බව නිගමනය කරමින් එම වරෙන්තුව නිකුත් කළේ ය. වරෙන්තු ඉල්ලා සිටිමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පොලිස් පරික්ෂක සංජීවනී කැප්පෙටිගේ මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාර හිටපු මහබැංකු අධිපතිවරයා ලබාදුන් රහස්‍ය තොරතුරු හේතුවෙන් රජයට රුපියල් බිලියන 688 ක අලාභයක් සිදුවී ඇති බව මේ දක්වා සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවයි. එමෙන්ම සැකකාර මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇත්තේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි බව එහිදී පෙන්වා දුන් පොලිස් පරීක්ෂකවරිය ඔහුට පසුගිය 08 වැනි දින හෝ ඊට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නිකුත් කළ නොතිසි හා විවිධ ආකාරයෙන් කළ දැනුම්දීම් නොසලකා හැර ඇති බවට පෙනී යන බවද ප්‍රකාශ කළේ ය. එම නඩුවේ දෙවැනි සහ සිව්වන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධණාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ ය. එම සැකකරුවන් දෙදෙනාට අයත් වත්කම් හා බැරකම් පිළිබඳ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස නියෝගයක් කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීමට විත්තියේ නීතිඥවරයා දැඩි විරෝධය පළ කරමින් පැවසුවේ ඔවුන් රජයේ සේවකයින් නොවන නිසා එවැනි නියෝගයක් නිකුත් කිරිමේ හැකියාවක් අධිකරණයට නොමැති බවයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් මීළග නඩු දිනයේදී නියෝගයක් නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය අද දැනුම් දුන්නා ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් වත්කම් හා බැරකම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ද ලබාදෙන ලෙසට නියෝගයක් කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයද මිළඟ නඩු දිනයේදී නිකුත් කරන බව අධිකරණය දැනුම් දුන්නේ ය. එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නියෝජනය කිරීම සදහා නියෝජිතයෙකු එවන ලෙසට අධිකරණය විසින් පසුගිය නඩු දිනයේදී කළ නියෝගය එදින විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් භාරගත් නමුත් අද දින අධිකරණය හමුවේ කිසිදු නියෝජිතයෙකු පෙනී සිටියේ නැහැ. මේ අනුව විත්තිකරුවන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම නඩුවේ හතරවන සැකකරු වන කසුන් පාලිසේන මහතාටම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටීමට අවසර ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කළේ ය. ප්‍රශ්ණගත මහබැංකු බැදුම්කර වෙන්දේසිය පැවති සමයේදී සහ ඊට පසුව අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සමග සබදතා පවත්වා ඇති පිරිසකගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුව එම දුරකථන වාර්තා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට නියෝග කරන්නැයි ද ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය දුරකථන සමාගම් කිහිපයකට අදාළ වාර්තා සපයන ලෙස නියෝග කළේ ය.