සෞදියේදී ඝාතනය වූ ලාංකික කතගේ දේහය ගෙන්වීමට පියවර

සෞදියේදී ඝාතනය වූ ලාංකික කතගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් පිරිසක් අල්රාස් රෝහලට

by Staff writer 14-03-2018 | 12:13 PM
Colombo (Newsfirst) - සෞදියේදී වෙඩි තබා ඝාතනය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව සොයා බැලීමට දේහය තැන්පත් කර ඇති අල්රාස් රෝහල වෙත එරට ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ගොස් තිබේ. එමෙන් ම විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ, ඇයගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව ය. ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය විදේශගත වන්නේ, දැඩි ආර්ථික දුෂ්කරතා නිසා ය. අවස්ථා ගණනාවකදී විදේශගතව ගෘහ සේවයේ නිරත වූ ඇය අවසන් වරට විදේශගතව ඇත්තේ, මීට මාස 9කට පමණ පෙර ය. 38 හැවිරිදි ප්‍රියංකා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවකි. ඉන් එක් ගැහැණු දරුවෙකුගේ හෘදයේ සිදුරක් පවතින බැවින් ඇයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම, ඇය විදේශ ගතවීමේ එක් අරමුණකි. ඇයගේ ස්වාමි පුරුෂයා ප්‍රදේශයේ ගල් කොරියක සේවයේ නිරත අයෙකි. ඔහු පැවසුවේ, සාමාන්‍යයෙන් ප්‍රියංකා මසකට වරක් ඔවුන් සමග දුරකතනයෙන් කතා බස් කරන අතර ඇයට ගැටලුවක් ඇති බව කිසි විටෙක නොපැවසූ බව ය. විදේශ රැකියා අමාත්‍යංශය පැවසුවේ, ඇයට රක්ෂණ සමාගම හරහා වන්දි මුදල් ලබා දීමට පියවර ගන්නා බව ය. පසුගිය සෙනසුරාදා මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් අනතුරුව අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන තිබේ. 30 හැවිරිදි ඝාතන සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.