මිනින්දෝරු නිලධාරීන් අද සිට වැඩ වර්ජනයක

ඉඩම් මැනීමේ ව්‍යාපෘතියක් ඇමෙරිකානු සමාගමකට, මිනින්දෝරු සංගමයත් වර්ජනයකට සැරසෙයි

by Staff writer 14-03-2018 | 9:28 AM

Colombo (Newsfirst) - රජයේ මිනින්දෝරු සංගමය අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට සූදානම්වී තිබේ.

ඔවුන් පවසන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අමෙරිකානු සමාගමක් වෙත මිනින්දෝරු දෙපාර්තමේන්තුව නතුකිරීමට කටයුතු කරමින් ඇති බවයි. දියර දෙකක් යටතේ රටේ ඉඩම් මැනුම්කර දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යෝජනා කර තිබුණි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක සඳහන් වූයේ ඒ සඳහා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ට්‍රිම්බල් නැවිගේෂන් ලිමිටඩ් නමැති සමාගමක් අමෙරිකානු ඩොලර් මිලියන 170 ක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි. ඊට අදාළව යෝජනාව අග්‍රාමාත්‍යවරයා මූලිකත්වය දැරූ ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව හරහා ඉදිරිපත්වී තිබුණි. සාකච්ඡා කමිටුව මේ පිළිබඳව අදාළ සමාගම සමග සාකච්ඡා කිරීමෙන් පසුව එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 154 ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව ගයන්ත කරුණාතිලක මහතාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. මේ අතරවාරයේ අදාළ සමාගම කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ඩෙලවෙයා ප්‍රාන්තයේ යළි ලියාපදිංචිකර එය ට්‍රිම්බල් අයිඑන්සී ලෙස නම වෙනස් කර තිබේ. මෙම යෝජනාවට අදාළව අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ ඉදිරිපත්කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමාගමේ නම් වෙනස්වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක අවශ්‍යතාව සඳහන් කර තිබුණි. මුදල් අමාත්‍යවරයා යෝජනාකර තිබුනේ අවම වියදමක් දරමින් නියමු ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදිය හැකි බවයි. කෙසේවෙතත් 2017 ඔක්තෝම්බර් 11 වන දා මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ අනුව පළමු අදියර යටතේ ට්‍රිම්බල් සමාගම බස්නාහිර හැර සෙසු පළාත්වල ඉඩම් කැබලි මිලියන 2.5 ක් මැනීම, කැබලි වියමන සැකසීම හා දත්ත පද්ධතියක් සකස් කිරීමට නියමිත වේ. දෙවන අදියරේදී බස්නාහිර පළාතේ ඉඩම් කැබලි මිලියන 2.5 ක එම කටයුතු සිදු කරණු ඇත. රජයේ මිනින්දෝරු සංගමය පෙන්වා දෙන්නේ, අමෙරිකානු සමාගම ඩොලර් මිලියන 154ක ඇස්තමේන්තුවක් සකස් කළ ද ඩොලර් මිලියන 40 කටත් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය සිදු කළ හැකි බවයි. https://www.youtube.com/watch?v=tl9PaEXCRhY