ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට

බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට

by Chathuranga Rajapaksha 14-03-2018 | 10:35 PM
COLOMBO (Newsfirst) -  නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 17ක ජයක් හිමිවිය. ඒ අනුව ලබන 18 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව අද සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය. ඉන්දීය ඉනිමේ නායක රෝහිත් ෂර්මා සහ ශ්‍රීකර් ධවාන් අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 70කි. ධවාන් ලකුණු 35කට දැවී ගියේය. අනතුරුව ෂර්මා සමග එකතු වූ සුරේෂ් රයිනා දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. රයිනා ලකුණු 47ක් ලබා ගත්තේය. නායකත්වයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දුවාර 20යි 20 ක්‍රිකට් දිවියේ 13වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ඔහු පන්දු 61කදි හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 89ක් ලබා ගත්තේය. රූබල් හුසේන් පන්දුවාර 4යි ලකුණු 27කදී කඩුලු 2ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159ක් පමණි තමිම් ඉක්බාල් ලකුණු 27ක් ලබා ගත්තේය. නායක මහමුදුල්ලා ලකුණු 11කට දැවී ගියේය. මුෂිෆිකර් රහීම් පන්දුවාර 20යි 20 ක්‍රිකට් දිවියේ 3වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. මුෂිෆිකර් රහීම් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය. සබ්බීර් රහමන් ලකුණු 27යි. වොෂිංටන් සුන්දර් පන්දුවාර 4කදී ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක මීළඟ තරගය ලබන 16වනදා පැවැත්විමට නියමිතය. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කිරිමට අවස්ථාව හිමිවෙයි.