අනධ්‍යයන සේවක වර්ජනය දැඩි වන ලකුණු

අනධ්‍යයන සේවක වර්ජනය දැඩි වන ලකුණු

by Staff writer 14-03-2018 | 7:32 AM
Colombo (Newsfirst) - වැඩ වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ, වැඩ වර්ජනයට අදට දින 15ක් ගත වුවත් උසස් අධ්‍යාපන විෂය භාර කිසිදු බලධාරියෙකු තම වෘත්තීය සමිතිය සමග සාකච්ඡා නොකළ බව ය. මේ හේතුවෙන් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි ගැටලුවකට මුහුණ දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක්, මණ්ඩප තුනක් හා උසස් අධ්‍යාපන ආයතන 18ක අධ්‍යයන කටයුතුවලට මෙම වැඩ වර්ජනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් දුෂ්කරතාවට පත්ව ඇති මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා භාහිරව අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්න ය. උසස් අධ්‍යාපන විෂය තවදුරටත් භාරව කටයුතු කරන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැන ගැනීමට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔවුහු දුරකතනවලට ප්‍රතිචාර නොදැක්වූහ.