සරසවි වෘත්තීය සමිති, ස්වෙච්ඡා සේවාවලින් ඉවත් වෙයි

අද මැදියම් රැයේ සිට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව ස්වෙච්ඡා සේවාවලින් ඉවත් වෙයි

by Staff writer 14-03-2018 | 2:06 PM
Colombo (Newsfirst) - අද මධ්‍යම රාත්‍රියේ සිට ස්වෙච්ඡා සේවාවලින් ද ඉවත් වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට දින 15ක් සියලු ම විශ්වවිද්‍යාලවල කටයුතු අඩපණ වී තිබේ. 15000කට අධික අනධ්‍යයන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරමිනි. ඔවුන් ඉල්ලා සිටින්නේ 2016 වසරේ ගිවිසුම්ගත වූ එකඟතාව ක්‍රියාත්මක කරන ලෙස ය. මේ පිළිබඳව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, පසුගිය වසරේ අනධ්‍යයන සේවකයින් හට ලැබුණු වැටුප් වැඩිවීම් සහ අනෙකුත් වැටුප් වර්ධක ඇතුළු දීමනා හේතුවෙන් මේ වන විට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමේ අපහසුතාවක් තිබෙන බව ය. භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලැබුණු වහාම ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.