නේපාල ගුවන් අනතුරට හේතුව තවම ත් අභිරහසක්

නේපාල ගුවන් අනතුරට හේතුව තවම ත් අභිරහසක්

by Sagarika Chathumali 13-03-2018 | 12:57 PM
පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවූ නේපාල ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනවරණ වී නොමැත. කෙසේ වෙතත් විමර්ශනවලදී බංග්ලාදේශයේ පෞද්ගලික ගුවන් සේවයකට අයත් යානය සහ පාලක මැදිරිය අතර සබඳතා ඇණහිටීම පිළිබඳව විමර්ශකයින්ගේ දැඩි අවධානයක් යොමු වී තිබේ. නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොළට ගොඩ බෑමට උත්සාහ කිරීමේදී යානය කඩා වැටුණු අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 67ක් ඇතුළු 71 දෙනෙක් සිටියහ. ඊයේ පස්වරුවේ කත්මන්ඩු ගුවන් තොටුපොළේ ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය යානය ගිනි ගැනීමකට ලක්විය. යානය අයත් ගුවන් සමාගම පාලක මැදිරියට චෝදනා එල්ල කරයි. එහෙත් ගුවන්තොටුපොළ පවසන්නේ, යානය වැරදි දිශාවෙන් යානය ගොඩ බැස්ස වූ බවයි. අනතුර සම්බන්ධයෙන් ගුවන් පාලක මැදිරිය වගකිව යුතු බව ගුවන් සේවය පවසන නමුත් නේපාල බලධාරීන් පවසන්නේ, යානය ගොඩබැස්වීමේදී වැරදි දිශාවකට ප්‍රවේශ වූ බවයි. ගුවන් අනතුරින් දිවි බේරාගත් 22 දෙනා අතුරින් 11 දෙනෙකු නේපාල ජාතිකයින් වන අතර ඉතිරි 11 දෙනා බංග්ලාදේශ ජාතිකයෝ වෙති. නේපාලයේ මෑත කාලීනව සිදුවූ දරුණුතම ගුවන් අනතුර මෙය ලෙස සැලකෙන අතර එරට ගුවන් ගමන් ආරම්භය සිදු වූ 1949 වසරේ සිට මේ දක්වා ගුවන් යානා සහ හොළිකොප්ටර් අනතුරු 70කට අධික සංඛ්‍යාවක් සිදුව තිබේ. ඉන් බහුතරයක් සිදුව ඇත්තේ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.