සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන මාසයේ

සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන මස සිට ඇරඹෙයි

by Hashini De Mel 12-03-2018 | 4:57 PM

COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයැදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසා ඇත.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අවශ්‍ය කෙරෙන විස්තර සහිත ඉල්ලුම්පත්‍ර මාර්තු මස 31 දිනට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වේ. මේ පිළිබඳව උපදෙස් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛනයක් මගින් දන්වා යවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ඇති සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. චක්‍රලේඛනයේ සඳහන් පරිදි සිසුන් විසින් දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සහතික කරන ලද සිය උප්පැන්න සහතිකයේ පිටපතක් සහ අදාළ ඡායරූප ඇතුළත් අයදුම්පත් 2018 මාර්තු මස 31 දිනට පෙර විදුහල්පතිවරුන් මගින් බත්තරමුල්ලේ, ඉසුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යලයට එවිය යුතු වනු ඇත. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මේ වසරේදී පාසල් සිසුන් සඳහා නව ජාතික හැඳුනුම්පත් 350,000ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ය.