පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ

by Sagarika Chathumali 12-03-2018 | 1:02 PM

COLOMBO (News 1st)  : පවතින අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබේ. ‍

වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසුවේ, ඉන් තත්ත්පරයට ඝන අඩි 600 බැගින් ජලය මුදා හරින බවයි. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ වැසි සහ තද සුළං තත්ත්වය නිසා ධීවරයන් ධීවර කටයුතුවලින් ඉවත් වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ සිට මාතරට වැසි ඇදහැළෙන බවයි. හම්බන්තොට දිස්ත්‍රක්කයේ ස්ථාන කිහිපයකට ඊයේ උදේ සිට වැසි සහ සුළං තත්ත්වයක් පැවතිණ. අප වාර්තාකරු පැවසුවේ, අද දිනය වන විට සුළං තත්ත්වය යම් තාක් දුරට පහව ගොස් තිබුණ ද නොකඩවා වර්ෂාව පවතින බවයි. අම්පාර දිස්ත්‍රක්කයේ පොතුවිල්, ලාහුගල සියබලාණ්ඩුව වැනි ප්‍රදේශවල ඊයේ පෙරවරුවේ සිට වැසි තත්ත්වයක් පවතී. හැඩ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග මහවැව පිටාර මට්ටමට පැමිණීමට ආසන්න බව ද අප වාර්තාකරු පැවසී ය. නොනවත්වා වැසි ඇද හැළුණහොත් මහ වැව පිටාර ගැලීමෙන් ලාහුගල,බෝගහලන්ද ,පරණ ගොවිපොළ යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතින බව ද වාර්තා වේ. මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනයක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 135.6 කි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ලොග්ගල් ඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 111 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. මේ අතර අද දිනයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.