නිල සංචාරයක් සඳහා ජනපති ජපානයට

නිල සංචාරයක් සඳහා ජනපති ජපානයට: ද්විපාර්ශික සාකච්ඡා හෙට

by Hashini De Mel 12-03-2018 | 7:41 PM

COLOMBO (News 1st) - රාජ්‍ය සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපානයට ළඟා විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිට දින 5 ක් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි. ජනාධිපතිතුමා හෙට දිනයේදී ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත අතර අනිද්දා සමුළු සාකච්ඡා සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිත වේ. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් රාජ්‍ය රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත වේ. සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර් ජාතික සහයෝගිතා නියෝජිතායතනය අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය. ජපන් විදේශ වෙළෙඳ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික රැස්වීමකට ද ජනාධිපතතුමා මෙම සංචාරයේදී සහභාගී වනු ඇති. එසේම මෙම රාජ්‍ය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව ද මුණගැසීමට නියමිතව වේ. https://youtu.be/iT3Xt2eicWc