කාලගුණයේ වෙනසක්: ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්

කාලගුණයේ වෙනසක්: ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස්

by Chathuranga Rajapaksha 12-03-2018 | 7:52 PM
COLOMBO (Newsfirst) - දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් සියලු අංශයන් මේ වනවිට සුදානම්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනට බලපා ඇති කැළඹිලි ස්භාවය හෙට දිනයෙන් පසු දිවයිනෙන් පහව යනු ඇති බව ය‍. ඊයේ පස්වරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇඳ හැලෙමින් පවතී. ඒ අනුව අද පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා විය. එහි අගය මිලිමීටර් 135 යි දශම 6 කි. ඇඳහැලෙන අධික වැසි හේතුවෙන් හැඩඔය හා මහ වැව පිටාර මට්ටමට පැමිණ ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ද මේ වනවිට තද වැසි ඇද හැලෙමින් පවතී. අයහපත් කාලගුණය හේතුවෙන් අද දහවල් පරාක්‍ර‍ම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව තත්පරයට ඝණ අඩි 1,120 ක් බැගින් පරාක්‍රම සමුද්‍රයේ ජලය අඹන් ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරෙන බව ය. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර වාරී ඉංජිනේරු කේ.කේ.ඩී. ද සිල්වා මහතා - පොළොන්නරුව "වැවේ මුළු ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසයදාහක ප්‍ර‍මාණයක් මේ වන විට පවතිනවා. විශේෂයෙන්ම වාන් ඇල සහ ගඟ පරිහරණය කරන පුද්ගලයින්ට කියා සිටිනවා ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස" මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේද ස්ථාන කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල විය . ඊයේ පස්වරුවේ හම්බන්තොටින්, පිටත්ව ගිය ධීවරයින් නැවත වරායට පැමිණ තිබෙන බව ද අප වාර්තාකරු සඳහන් කළේය. මේ අතර වැසි සහිත කාලගුණයත් සමඟ මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ සුළු ගංවතුර තත්වයක් හටගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ පවුල් 15ක පිරිස් මේ හේතුවෙන් සිය නිවාස වලින් ඉවත් වී ඇති බව ය. ත්‍රීකුණාමලයට ද තද වැසි ඇඳ හැලෙමින් පවතින අතර ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය. මේ අතර මාස ගණනාවක් තිසේසේ මුහුණ දුන් නියං තත්ත්වය නිමා කරමින් අද දහවල් අනුරාධපුරයේ ස්ථාන කිහිපයකට මහ වැසි ඇඳ හැළුණි. අප වාර්තාකරු සඳහන් කළේ, පැයක පමණ කාලයක් තද වැසි ඇදහැළුණු බව ය. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද දහවල් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් අදහස් පල කළේය. කාලගුණ විද්‍යා දෙපාර්කමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා "මේක වයඹට බරව දිවයිනෙන් බැහැරව යනවා බස්නාහිර දිශාවට.එතකොට මේක දැන් ඇතුල්වෙන්න හදන්නේ බොහෝ විට අරාබි මුහුදු තීරයට. එතකොට මේක අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනයේ මෙවැනි වළාකුලින් බර වර්ෂාපතනයක් තියෙයි කියලා. හැබැයි හෙටින් පස්සේ මෙය ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා යයි කියලා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මේ සිස්ටම් එක ඇරබියන් මුහුදේ තව දුරට ත් පීඩන අවපාතයක් ලෙස වර්ධනය වෙන ලකුණු සාමාන්‍යයෙන් අපිට ඉන්දියාවෙන් දැනුවත් කරළත් තියෙනවා" ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා "උදෑසන ලද වාර්තා අනුව අපි විශේෂයෙන්ම ධීවර ජනතාව එම කලාපයෙන් මුහුදු කටයුතුවලින් වළකින ලෙස දැනුම් දීමක් කරනු ලැබුවා. ඉතින් ධීවර දෙපාර්තමේන්තුව හරහා මේ තත්ත්වය දිගින් දිගටම ධීවර ජනතාවට දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම ධීවර බෝට්ටු පාලනය කිරීම සහ ඒ කටයුතු සම්පූරණයෙන්ම ධීවර අමාත්‍යංශය හරහා තමයි සිදුකරන්නේ. ඒ එක්කම අපි ත්‍රිවිධ හමුදාව දැනුවත් කිරීම සියලුම පොලිස් ස්ථානයන් දැනුවත් කරලා ස්ථානගත කරලා ඉදිරි යම් කටයුත්තක් රට ඇතුළත හෝ එක්කෝ නාවික හමුදාව හරහා කළ යුතු කාර්ය භාරයක් සම්බන්ධයෙන් එම සියලුම කටයුතු අපි සුදානම් කළා"