ඉන්දීය සංචාරය නිම කළ ජනපති ජපානයට

ඉන්දීය සංචාරය නිම කළ ජනපති ජපානයට

by Sagarika Chathumali 12-03-2018 | 6:19 AM

COLOMBO (News 1st) : රාජ්‍ය සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපානයට ළඟා විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිට 17 වන දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි. ජනාධිපතිවරයා හෙට දිනයේදී ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත අතර අනිද්දා සමුළු සාකච්ඡා සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිතව තිබේ. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇති. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අනෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ජපන් විදේශ වෙළෙඳ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන, ව්‍යාපාරික රැස්වීමකට ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සහභාගී වනු ඇති. එසේම මෙම රාජ්‍ය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව ද මුණගැසීමට නියමිතව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන් ඊයේ සහ පෙරේදා ඉන්දියාවේ ද සංචාරයක නිරත විය.